Thursday, April 11, 2013

ගලබොඩ ඇල්ල සොයා....part-03





වැඩ රාජකාරි බහුල නිසා මේ පොස්ට් එක ලියන්න ටිකක් කල් ගත උනා. ඕං මම එදා නවත්තපු තැන ඒ කියන්නේ ගම්පොල ඉඳල ඉතුරු ටික ලියන්නයි හදන්නෙ.ගම්පොලින් පිටත් වුනු දුම්රිය ඔන්න දැන් නාවලපිටියටත් ආව.නාවලපිටියේදී දුම්රිය එන්ජිමේ කාර්ය මණ්ඩලය මාරු වෙනව.පොඩි මැණිකෙව කොළඹ ඉඳන් නාවලපිටිය වෙනකන් කැන්දාගෙන ආපු රියදුරු මහත්මයයි එතුමගේ සහයක තුමයි මෙතනින් එහාට මැණිකෙව අලුත් රියදුරු දෑතකට බාර දෙනව.එතන ඉඳන් බදුල්ල වෙනකන් අලුත් රියදුරු මහත්මය තමයි දුම්රිය අරන් යන්නෙ.මෙහෙම කරන්න හේතුව මම දන්නා විදියට නම් මේ බදුලු දුම්රිය ගමන ඉතා දීර්ඝ වෙහෙසකර එකක් වීමයි.කොහොමහරි මේ මාරු වීම නිසා නාවලපිටියේදී දුම්රියෙ ගමන් කරන මගියෙක්ට ඉක්මනට තේකක් එහෙම බීල එන්න වෙලා තියෙනව.ඒත් ටිකක් ඉක්මන් කරල කරන වැඩක් කරල එන්න ඕනෙ.තැපැල් දුම්රිය (නයිට් මේල්) වගේ ඒවනම් මෙතැන ටිකක් වැඩිපුර වෙලා නවත්තල තියෙනව.තැපැල් මලු බාගන්න පටවගන්න එහෙම ටිකක් වෙලා යනව.

නාවලපිටියෙන් බැහැල යන කෙනෙක්ට නාවලපිටිය තලවකැලේ පාරෙ කඩියන්ලෙන කියන ගම සමීපයේ තියෙන අපූරු කඩියන් ඇල්ල බලන්න යන්න පුළුවන්.මේ ඇල්ල බලන්න මම තාම ගිහිල්ල නෑ.ඒත් අහල තියෙන තොරතුරුවල හැටියට නම් මේ ඇල්ල පාර අයිනෙම තියෙන අපූරු දිය ඇල්ලක්.සැලකිල්ලෙන් නාන්න උනත් පුළුවන්ලු.නාවලපිටියේ ඉඳන් බස් එකේ ගියොත් විනාඩි 45ක් විතර යාවි.මේ නාවලපිටිය-තලවකැලේ පාරත් තරමක් ලස්සනයි කියල කියනව.කොහොම නමුත් මං මේ ගැන නිශ්චියටම කියන්න දන්නේ නෑ.මම මෙහෙ ලඟදි යන්න තමයි හිතන් ඉන්නේ.ගියාට පස්සේ වැඩිදුර විස්තර කියන්නම්.ඔන්න දැන් අපි නාවලපිටියෙනුත් පිටත් උනා.මෙතන ඉඳල ගලබොඩට වැඩි දුරක් නැහැ.නාවලපිටිය>ඉඟුරුඔය>ගලබොඩ විදියට තමයි දුම්රිය නැවතුම්පළවල් තියෙන්නෙ.නාවලපිටිය පහුවුනාට පස්සෙ ඔන්න නැවත වතාවක් උඩරට කඳුකරයේ අසිරිය දුම්රියේ යන මගියෙකුට දර්ශනය වෙන්න පටන් ගන්නව.නමුත් අපිට ගලබොඩින් බහින්න වෙන හින්ද ඒ අසිරිය විඳ ගන්න ලබුනෙ ටික වෙලාවකට විතරයි.ගලබොඩට කලින් හමුවෙන අංක 13 දරන බිංගෙය පහුවෙනවත් එක්කම වම් අත පැත්තෙ කන්ද හරහා තමයි අපිට ගලබොඩ ඇල්ල බලන්න යන්න තියෙන්නෙ.මේ කන්ද හරහා යනකොට දර්ශනය වුනු අංක 13 බිංගෙයි ගත්ත ෆොටෝස් වගයක් මම පහල දාල තියෙනව.






ඔන්න කොහොමින් කොහොමහරි අපි උදේ 10.20 විතර වෙනකොට ගලබොඩට ආව.එන්න ඕනෙ නම් 10.05ට උනත් මගදී වෙන සුළු සුළු ප්‍රමාදවීම් නිසා පොඩි මැණිකෙ ගොඩක් දවසට ගලබොඩට එනකොට 10.30 විතර වෙනව.     ගලබොඩදි අපිව ගෙනාපු පොඩි මැණිකෙ අපිට සමුදීල බදුල්ල බලා පිටත් උනා.දැන් ඔන්න අපි ඉන්නෙ ගලබොඩ ඉස්ටේසමේ.මේ දුම්රිය ස්ථානයේ වැසිකිලි පහසුකම් සහ ජලය එහෙම තියෙනව(හොඳ මට්ටමක නැහැ.) මම මොකද එහෙම සඳහන් කලේ...ඊට හේතුව මෙතනින් එහාට ගමනෙදි හවස් වෙනකන්ම ආයෙත් එහෙම පහසුකම් තියෙන තැනක් හමුවෙන්නෙ නැහැ.ඉතින් කරන දෙයක් මෙතනදී ඉවර කරගෙන යන එක ඇඟට ගුණයි.මොකද මේ වගේ දුර ගමන් වලදි ඔය වගේ නොයෙක් ගැටලු ඇතිවෙන්න පුළුවන්.ගෙනාපු බඩුමලු ටිකත් ඔක්කොම කරගහගත්ත අපි දුම්රිය ස්ථානයේ ටිකට් චෙක් කරන්න හිටපු මහත්මයගෙනුත් පාර අහගෙන ගමන පිටත් උනා.ආ...ඊට කලින් මම ගලබොඩ ගැනත් චුට්ටක් කියල ඉන්නම්.ගලබොඩ කියන්නෙ ප්‍රධාන මාර්ගයේ 151kmක් දුරින් තියෙන දුම්රිය ස්ථානය(මම වැරදි නම් නිවැරදි කරන්න..).මුහුදු මට්ටමේ ඉඳල 795m උසකින් තමයි මේ දුම්රිය ස්ථානය පිහිටල තියෙන්නෙ.ඒ වගේම මම කලිනුත් සඳහන් කරා වගේ ගලබොඩට එන්න පුළුවන් දුම්රියෙන් පමණයි.උඩරට මාර්ගයේ බොහොමයක් දුම්රිය ස්ථාන අතීතයේදී නිර්මාණය වෙලා තියෙන්නෙ දුම්රිය මාර්ගයට සමීපව තියෙන තේ වතු සම්බන්ධ කරගෙන.මොකද දුම්රිය සේවය මුලින්ම ආරම්භ වෙලා තියෙන්නෙ තේ දළු වැනි භාණ්ඩ ප්‍රවාහනය මුල් කරගෙන.පසුව එය මගී ප්‍රවාහනය දක්වා දියුණු උනාලු.ඉතින් මේ ගලබොඩ කියන දුම්රිය ස්ථානය සමීපයෙත් තියෙනව ගලබොඩ වතුයාය(Galaboda estate).දැනට මෙය එතරම් සක්‍රීය මට්ටමේ නැහැ.ඉතින් එහෙම වෙන්න ඇති මේ ගලබොඩ දුම්රිය ස්ථානයත් නිර්මාණය වෙලා තියෙන්නේ.

ඒ වගේම අතීතයෙ ඉඳල දැනට වසර කීපයකට පෙර වෙනකම්ම වටවලට තමයි ලංකාවේ වැඩිම වර්ෂාපතනය ලැබිල තියෙන්නෙ(දැන් වැඩිම වර්ෂාපතනය මාලිබොඩ).එතකොට මේ ගලබොඩ ඇල්ල ආරම්භ වෙන්නෙත් වටවල ප්‍රදේශයෙන්.ඒක නිසා අතීතයෙ හිටපු සුදු ආණ්ඩුකාරවරු සලකල තියෙනව ගලබොඩ ප්‍රදේශයේ තමයි ලංකාවේ පිරිසිදුම ජලය තිබිල තියෙන්නෙ කියල.ඒ අනුව ඔවුන්ගෙ අවශ්‍යතා සඳහා ජලය ගලබොඩින් සපයාගෙන තියෙනව.මේ සඳහා සාධක වන කුඩා පොකුණක් ගලබොඩ දුම්රිය ස්ථානය පසුපස තියෙනව.දුම්රිය ස්ථානාධිපතිතුමාගෙ අවසරය ඇතුව එතන බලන්න පුළුවන්. 

ගලබොඩින් බැහැල දිය ඇල්ලට යන්න දුම්රිය මාර්ගය දිගේ නාවලපිටිය පැත්තට,ඒ කියන්නේ අපි ආපු පැත්තට 100mක් විතර යන්න ඕනෙ.ඔහොම යනකොට මුලින්ම ඒ කියන්නෙ ස්ටේෂමේ ඉඳල 15m විතර දුරින් පොඩි කඩයක් අහුවෙනව.මෙතනින් තේකක් එහෙම බොන්න පුළුවන්.ඒ වගේම ඔයාලගේ දවල් කෑමත් මෙතනින් සපයාගන්න පුළුවන්.ඒ වුනත් එතන ගැන හැමදාම විශ්වාස කරන්න බැහැ.මොකද අපි යන දවසෙත් මම නිකමට වගේ එතනින් කෑම ගන්න පුලුවන්ද කියල විමසල බැලුව.නමුත් එදා ඔවුන්ට කෑම දෙන්න පුළුවන්කමක් තිබුනෙ නැහැ.එහෙම උනොත් බඩගින්නෙ ඉන්න තමයි වෙන්නෙ.ඒක නිසා පෙර සූදානම වඩා හොඳයි.

ඔය කඩෙත් පහුකරලා තවත් දුර යනකොට දකුණු අත පැත්තෙ කන්ද උඩට පාරක් අහුවෙනවා.මෙන්න මේ පාර දිගේ තමයි ඊගාවට යන්න ඕනෙ.ඔය කොහොම කිව්වත් යනොකට හම්බවෙන කට්ටියගෙන් පාර හරියටම අහගෙන යන එක වඩා හොඳයි.මොකද ඒ හමුවන සමහර අය මගසලකුණු වලට අමතරව වෙනත් වැදගත් දේවලුත් කියනවා.තම තමන්ගෙ බඩුමලු පරිස්සන් කරගන්න කියල එහෙමත් අපිට කිව්වා.ඒ මිනිස්සු කියන එකට ඇහුන්කන් දෙනේක වඩා හොදයි.මොකද එයාල ඒ දේවල් ගැන අපට වඩා හොඳින් දන්න නිසා තමයි එහෙම කියන්නෙ.අර කලින් කියපු තැනින් රේල් පාර දිගේ ආපු ගමන අවසාන වෙනව.ඊට පස්සෙ දකුණු අත පැත්තට හැරිලා ගමන් කරන කොට මුලින්ම හම්බ වෙනව ටිකට් ගන්න තැන.




ඉතුරු ටිකත් ළඟදීම දාන්නම්...

Thursday, December 27, 2012

ගලබොඩ ඇල්ල සොයා.....part-02



හොඳයි අද එහෙනම් රඹුක්කන ඉඳල පටන් ගන්නම්.අර කලින් කිව්ව වගේ රඹුක්කනදී මම කැමරා උපාංග ටිකත් ලෑස්ති කරගෙන අපේ අයගෙන් සමුගෙන එන්ජිමට ගොඩ උනා.මේක තමා මම එන්ජිමක යන පළමු අවස්ථාව.ඒක හරිම සුන්දර අත්දැකීමක්.ඔයාලටත් chance එකක් අවොත් අත අරින්න එපා.රඹුක්කන විනාඩි 10ක් විතර අපි නතර වෙලා හිටිය.රියදුරු මහත්තයයි එයාගෙ සහායකයි තේකක් හෙම බීල තමයි ඉතුරු ගමන පටන් ගත්තෙ.ඔන්න දැන් අපි රඹුක්කනින් පිටත් උනා.දැන් මං ඉන්න තැනට දුම්රිය මාර්ගයෙ ඉදිරිය සහ වට පිටාවේ හොඳ view එකක් පේනවා.රියදුරු මහත්තය හෙමිහිට හෙමිහිට දුම්රියේ වේගය වැඩි කලා.හරියටම කියනවනම් හිඟුල කියන ස්ථානයේ ඉඳල දැන් ඉතින් දිගටම නැග්මක් තමයි තියෙන්නේ.මේ හිඟුල ඉඳන් කඩුගන්නාවට යනකන් තියෙන දුම්රිය මාර්ගයෙ නැග්ම තමාලු ලංකාවෙ දුම්රිය මාර්ගයක තියෙන වැඩිම නැග්මක් තියෙන්නෙ.ඒක නිසා සමහර කෝච්චි ඒ කියන්නේ නයිට් මේල් වගේ පෙට්ටි වැඩිපුර තියෙන ඒවා රඹුක්කන ඉඳල තව එන්ජිමක ආධාරයත් ඇතුව තමා මේ කන්ද නගින්නේ.ඒත් අපි ගියපු පොඩි මැණිකෙට පෙට්ටි 6ක් විතරක් තියෙන නිසා ඒ ටික තනියම අදින්න M6 හාදයට පුළුවන්.මම ඉතින් මේ ලැබිච්ච අවස්ථවේ උපරිම ප්‍රයෝජනේ අරන් දිගට හරහට ෆොටෝස් ගැහුව.ඒවගෙන් තෝර ගත්ත සෙට් එකක් මම පහල දාල තියෙනව.                                                                                                                                                
කඳු අතරින් ඉදිරියටම....
සෙන්සේෂන් රොක් හෙවත් ලොමුදහැගන්වන පර්වතය...
අංක 5-A බිංගෙයට ඇතුළුවීමට මොහොතකට පෙර.
බතලේගල...
සිංහකට පසු කරමින්...බතලේගල වම් පසින් දිස්වේ..



 
දැන් අපි ඉන්න දුම්රිය කඳු බිංගෙවල් අතරින් ඉදිරියටම ඇදෙනවා.බිංගෙවල් ඇතුලෙදි කණ දෙදරන්න තරම් සද්දයක් එනව,ඒත් ඒකෙත් පොඩි සුන්දරත්වයක් තියෙනව.රඹුක්කන-කඩුගන්නාව අතරෙදි අපිට හමුවෙන අංක 5-A  කියන බිංගෙය අනෙක් ඒවට වඩා විශේෂයි.ඒකට හේතු කිහිපයක්ම තියෙනව.එකක් තමයි මේක ලංකාවෙ 2 වෙනියට දිගම බිංගේ.මේ බිංගේ හදල තියෙන්නේ පස්සේ කාලෙක.ඒක නිසා තමයි මේකට A අකුරක් දාල නම් කරල තියෙන්නෙ.මේ බිංගේට මීයන්ගල්ල බිංගේ කියලත් කියනව.මීයන් ඇල්ල කියල දිය ඇල්ලක් මේ බිංගෙයි පියස්ස උඩින් ගලා හැලෙන එක තවත් විශේෂත්වයක්.ටිකක් සැලකිල්ලෙන් බලාගෙන ගියොත් ඊළඟ සැරේ නුවර යනකොට මේ බිංගේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි.ඊට අමතරව elephant back,lions mouth වගේ අපූරු තැනුත් sensation rock වගේ දුර්ගත් බතලේගල,උතුවන්කන්ද,අලගල්ල වගේ කඳුත් ඔයාලට මේ ගමනෙදි දැක බලා ගන්න පුළුවන්.ඒවා ගැන මම වැඩි විස්තර කියන්න යන්නේ නෑ.කොහොම හරි රඹුක්කනින් පටන්ගෙන ආසන්න වශයෙන් 21km විතර දුරක් ගෙවාගෙන අපි ආපු දුම්රිය කඩුගන්නාවට ළඟාවුනා.කඩුගන්නාව දුම්රිය නැවතුමට ටිකකට කලින් පාරේ දකුණු අත පැත්තෙ විශාල කණුවක් දැක ගන්න පුළුවන්.මේකට තමයි ඩෝසන් කුලුන කියන්නේ.කැප්ටන් ඩෝසන් කියල කෙනෙක් තමයි ඔය නුවර බස් පාර හදල තියෙන්නේ.එයාව සිහි වෙන්න තමයිලු ඔය කුලුන හදල තියෙන්නේ.


ඩෝසන් කුළුන 
  

කඩුගන්නාවෙන් පස්සෙ පේරාදෙණියට යනකං විශේෂ දෙයක් බලන්න නෑ.පේරාදෙණියේදී මම එන්ජිමේ හිටපු රියදුරු මහත්තයටයි,සහයකටයි පින් දීල එන්ජිමෙන් සමුගෙන ආයෙත් අපේ කස්ටියට එකතු උනා.පොඩි මැණිකේ නුවර යන්නෙ නැහැ.එයා පේරාදෙණියෙන් බදුල්ල පැත්තට හරවනවා.එතකොට නුවර ආපු අය යන්නේ කොහොමද????....ආ ඒකට වෙනම ලෝකල් ට්‍රේන් එකක්, පොඩි මැණිකෙ පේරාදෙණියට ආවට පස්සෙ පේරාදෙණියේ ඉඳන් නුවරට යනවා.

නුවර ගියපු හාදයා..

පේරාදෙණියෙන් පිටත්වුන අපිට ඊගාවට හම්බවෙන ප්‍රධාන නැවතුමක් තමයි ගම්පොළ.ගම්පොළ දුම්රිය ස්ථානයට අම්බුළුවාව කන්ද හොඳින් දිස් වෙනව.අම්බුළුවාව යන කෙනෙක් ගම්පොලින් තමයි බහින්න ඕනෙ.අපේ දවල් කෑම පාර්සල් ටිකත් කලින් ප්ලෑන් කරල තිබ්බ විදිහට ගම්පොල ස්ටේෂන් එකේදී කෝච්චියට ගෙන්න ගත්ත.   



ඉතුරු ටික ඊගාව කොටසින්.....

Tuesday, December 25, 2012

ගලබොඩ ඇල්ල සොයා......part-01

                                     හැමෝටම සුබම සුබ නත්තලක් කියල ඕං මම හා හා පුරා  කියල මගේ බ්ලොග් එක අද ඉඳල ලියන්න තමයි මේ ලෑස්තිය.මම ගැන ඉස්සෙල්ලම චූටි හැඳින්වීමක් දීලම හිටියොත් හොඳයි කියල හිතුන නිසා මේ විස්තර ටික මම කියන්නේ.මොරියාටි කියල කියගත්තට මගේ නම ගයාන්.ඉන්නේ කොලොම්පුරේ.තාම ඉගෙන ගන්න එක තමයි රස්සාව.වැඩිදුර විස්තර ඉස්සරහට දැනගන්න බැරිය.හොඳයි එහෙනම් නමෝවිත්තියෙන් බ්ලොග් එක ලියන මගේ දෑතට යහපතක්ම වෙන්න කියල වැඩේ පටන්ගමු.ලියන්න දේවල් ගොඩක් තිබ්බත් මේ ලඟදි මම අපේ කස්ටියක් එක්ක ගලබොඩ පැත්තේ ගියපු ගමනක් ගැනම ලියල පටන් ගන්නයි හිතුවෙ.
                                                                                මේ ගමන මම කාලයක් තිස්සේ යන්න හිතන් හිටපු ගමනක්..කොටින්ම කියනවනම් මේ සැරේ කව්රු නාවත් තනියම හරි යනවා කියල තමයි හිතන් හිටියෙ.(කයි දුන්නට තාම එක ගමනක්වත් එහෙම ගිහින් නෑ).කොහොමින් කොහොම හරි මෙදා සැරේ නං කස්ටිය 16 දෙනෙක්ම සෙට් උනා.ලක්දසුන් එකේ සහ තවත් බ්ලොග් වගයක තිබුන ට්‍රිප් රිපොර්ට්ස් වගයක් ඔක්කොම මුල ඉඳන් අගටයි අග ඉඳන් මුලටයි සිය සැරයක් විතර කියවල ඇස් වහගෙන උනත් ගලබොඩ යන්න පුලවන් ගානට රෙඩි වෙලා තමයි හිටියෙ.ඒ උනාට ගලබොඩ station එකෙන් බැහැපු වෙලේ ඉඳල මුණගැහුණු හැම මනුස්ස පරානයක්ගෙන්ම පාර අහගෙන තමයි ඇල්ලට ගියේ.හා....... මට අමතක උනානෙ මුලදී ගලබොඩ මොකද්ද තියෙන්නේ කියල කියන්න.ගලබොඩ තියෙනවා ලස්සන දිය ඇල්ලක්.ඒක ගැන ගොඩක් විස්තර දැනගන්න ඕනේ නම් ලක්දසුන් එකේ හරි google හරි search කරන්න.ඉතින් අපි ගියේ ඔන්න ඔය ඇල්ල බලන්න තමා.මේ ඇල්ල ළඟ නාන්නත් පුළුවන්.හැබැයි ටිකක් සැලකිලිමත් වෙන්න වෙනව.මොකද වටවල පැත්තට වහිනවනම් ඇල්ලෙ වතුර එකපාරටම වැඩි වෙනව.එහෙම උනොත් ඉතින් දෙයියන්ගෙම පිහිට තමයි.මොකද ගොඩ එන්න වෙලාව මදි.ඒක නිසා ඒකත් සිහියෙ තියාගන්න.තව දැන ගන්න ඕන විස්තර මම ඒ ඒ තැනදි ඉස්සරහට කියන්නම්.  
         මේ ගමනේ තියෙන විශේෂත්වය තමයි දැනට මේ ඇල්ලට පහසුවෙන් ළඟාවෙන්න පුළුවන් එකම මාර්ගය දුම්රියෙන් පමණක් වීම.කොහොමින් කොහොම හරි ඔක්කොම වැඩ ටික ලෑස්ති කරගෙන යන දවසේ උදේ ඒ කියන්නේ ඉරිද දවසක කස්ටිය ඔක්කොම කොටුවට සෙට් උනා.උදේ 5.55 ට කොටුවෙන් තියෙන පොඩි මැණිකේ කෝච්චියෙන් තමයි ගමන පටන් ගත්තෙ.මෙතෙන්දි කියන්න ඕන දේවල් ටිකක් තියෙනවා.මේ විස්තර ගලබොඩ යන්න ප්ලෑන් කරන කෙනෙකුට වැදගත් වෙයි.සාමාන්‍යයෙන් පොඩි මැණිකේ කියන්නේ සෙනග වැඩි train එකක්.මේකේ 2nd class පෙට්ටි 1ක් විතරයි තියෙන්නෙ.ඒකත් කලින් බුක් කරන්න බැහැ.කලින් බුක් කරන්න පුළුවන් 1st  class 1ක පෙට්ටියක් තියෙනවා.ඒ තමයි නැරඹුම් මැදිරිය.මේකත් අඩුම තරමින් සතියකට කලින් වත්  බුක් කරන්න ඕනෙ(තව expo rail එකත් කලින් බුක් කරන්න පුළුවන්.).පොඩි මැණිකේ ගත්තහම සම්පූර්ණයෙන් පෙට්ටි 6ක් තියෙනව.1ක් 1st  class,1ක් 2nd  class,3ක් 3rd class,1ක් expo rail පෙට්ටිය.ඉතින් ඒක නිසා අඩු budget ට්‍රිප් යන කස්ටිය ගොඩක් යන්නේ 2nd හරි 3rd හරි නිසා ටිකක් කලියෙන් කොටුවට යන්න වෙනව.ඒ කියන්නේ අඩුම තරමින් පහ පහයි කාල විතර වෙනකොටවත් කොටුවේ ඉන්න ඕනෙ.මොකද ටිකට් ගන්නත් එපැයි.නැත්තන් ඉතින් ගලබොඩට යනකන් හිටන් තමයි යන්න වෙන්නෙ.කෝච්චිය 5.55ට කොටුවෙන් ඇද්දට 5.30ට විතර කොටුවට එනව.අපි ගියේ 2nd class පෙට්ටියේ.ගාන එක්කෙනෙක්ට 230/=.3rd class එකේ එක්කෙනෙකුට ගාන 125/=.1st class නම් 430/=ක් වෙනව.expo එකේ ගනං නම් මම දන්නෙ නෑ.පොඩි මැණිකේ මිස් උනොත් ඉතින් සොරිම තමයි.මොකද ආපහු ගලබොඩ යන්න train එකක් සෑහෙන වෙලාවකට නෑ.

                                   ඔය කියපු ඔක්කොම ටික වරද්දන්නෙ නැතුව කරගෙන අපි කට්ටිය කොටුවෙන් 5.55ට පිටත් උනා.අපි හැමෝටම වාඩිවෙන්නත් හම්බුනා.ආ ...ආයි පාරක් කියන්න අමතක උනානේ.මම ටිකක් විතර කෝච්චි පිස්සෙක්(චුට්ටයි හොඳේ.).ඒක නිසා මම කලින්ම රඹුක්කන ඉඳල පේරාදෙණියට යනකන් එන්ජිමේ යන්න මට විතරක් සෙට් කරගත්ත.(16කට යන්න බැහැනේ.)එදා අපිව ගලබොඩ එක්කන් ගියේ M6 පන්තියේ 797 කියන හාදය.මෙයා හරි හැන්ඩිය.මෙයාගේ පින්තුරයක් මම ඉහල දාල තියෙනවා.අපි කට්ටිය මග දිගට සින්දු කියාගෙන(අහගෙන ඉන්න අමාරු උනත්.)ආතල් එකේ ආව.උදේ කෑම ගත්තෙ train එකේදීමයි.කලින් පිළියෙළ කරගෙන ආපු සීනි සම්බෝලයි චිලි පේස්ට් සමග ඊට කලින් දවසෙ හවස ගත්ත පාන් අපේ කුස පිරෙව්වා.කොහොමින් කොහොම හරි කෝච්චිය රඹුක්කනට ලඟා වෙනකොට මම මගේ කැමරා උපාංග ටිකත් ලෑස්ති කරගෙන බහින්න ලෑස්ති උනා.මොකද එන්ජිමට පැන ගන්න එපැයි.                                                                                                                                  


මීළඟ කොටස ළඟදීම බලාපොරොත්තුවන්න......(එක දිගට ලියන්න ගියහම එපා වෙනව අප්පා......)