Tuesday, December 25, 2012

ගලබොඩ ඇල්ල සොයා......part-01

                                     හැමෝටම සුබම සුබ නත්තලක් කියල ඕං මම හා හා පුරා  කියල මගේ බ්ලොග් එක අද ඉඳල ලියන්න තමයි මේ ලෑස්තිය.මම ගැන ඉස්සෙල්ලම චූටි හැඳින්වීමක් දීලම හිටියොත් හොඳයි කියල හිතුන නිසා මේ විස්තර ටික මම කියන්නේ.මොරියාටි කියල කියගත්තට මගේ නම ගයාන්.ඉන්නේ කොලොම්පුරේ.තාම ඉගෙන ගන්න එක තමයි රස්සාව.වැඩිදුර විස්තර ඉස්සරහට දැනගන්න බැරිය.හොඳයි එහෙනම් නමෝවිත්තියෙන් බ්ලොග් එක ලියන මගේ දෑතට යහපතක්ම වෙන්න කියල වැඩේ පටන්ගමු.ලියන්න දේවල් ගොඩක් තිබ්බත් මේ ලඟදි මම අපේ කස්ටියක් එක්ක ගලබොඩ පැත්තේ ගියපු ගමනක් ගැනම ලියල පටන් ගන්නයි හිතුවෙ.
                                                                                මේ ගමන මම කාලයක් තිස්සේ යන්න හිතන් හිටපු ගමනක්..කොටින්ම කියනවනම් මේ සැරේ කව්රු නාවත් තනියම හරි යනවා කියල තමයි හිතන් හිටියෙ.(කයි දුන්නට තාම එක ගමනක්වත් එහෙම ගිහින් නෑ).කොහොමින් කොහොම හරි මෙදා සැරේ නං කස්ටිය 16 දෙනෙක්ම සෙට් උනා.ලක්දසුන් එකේ සහ තවත් බ්ලොග් වගයක තිබුන ට්‍රිප් රිපොර්ට්ස් වගයක් ඔක්කොම මුල ඉඳන් අගටයි අග ඉඳන් මුලටයි සිය සැරයක් විතර කියවල ඇස් වහගෙන උනත් ගලබොඩ යන්න පුලවන් ගානට රෙඩි වෙලා තමයි හිටියෙ. උනාට ගලබොඩ station එකෙන් බැහැපු වෙලේ ඉඳල මුණගැහුණු හැම මනුස්ස පරානයක්ගෙන්ම පාර අහගෙන තමයි ඇල්ලට ගියේ.හා....... මට අමතක උනානෙ මුලදී ගලබොඩ මොකද්ද තියෙන්නේ කියල කියන්න.ගලබොඩ තියෙනවා ලස්සන දිය ඇල්ලක්.ඒක ගැන ගොඩක් විස්තර දැනගන්න ඕනේ නම් ලක්දසුන් එකේ හරි google හරි search කරන්න.ඉතින් අපි ගියේ ඔන්න ඔය ඇල්ල බලන්න තමා.මේ ඇල්ල ළඟ නාන්නත් පුළුවන්.හැබැයි ටිකක් සැලකිලිමත් වෙන්න වෙනව.මොකද වටවල පැත්තට වහිනවනම් ඇල්ලෙ වතුර එකපාරටම වැඩි වෙනව.එහෙම උනොත් ඉතින් දෙයියන්ගෙම පිහිට තමයි.මොකද ගොඩ එන්න වෙලාව මදි.ඒක නිසා ඒකත් සිහියෙ තියාගන්න.තව දැන ගන්න ඕන විස්තර මම ඒ ඒ තැනදි ඉස්සරහට කියන්නම්.  
         මේ ගමනේ තියෙන විශේෂත්වය තමයි දැනට මේ ඇල්ලට පහසුවෙන් ළඟාවෙන්න පුළුවන් එකම මාර්ගය දුම්රියෙන් පමණක් වීම.කොහොමින් කොහොම හරි ඔක්කොම වැඩ ටික ලෑස්ති කරගෙන යන දවසේ උදේ ඒ කියන්නේ ඉරිද දවසක කස්ටිය ඔක්කොම කොටුවට සෙට් උනා.උදේ 5.55 ට කොටුවෙන් තියෙන පොඩි මැණිකේ කෝච්චියෙන් තමයි ගමන පටන් ගත්තෙ.මෙතෙන්දි කියන්න ඕන දේවල් ටිකක් තියෙනවා.මේ විස්තර ගලබොඩ යන්න ප්ලෑන් කරන කෙනෙකුට වැදගත් වෙයි.සාමාන්‍යයෙන් පොඩි මැණිකේ කියන්නේ සෙනග වැඩි train එකක්.මේකේ 2nd class පෙට්ටි 1ක් විතරයි තියෙන්නෙ.ඒකත් කලින් බුක් කරන්න බැහැ.කලින් බුක් කරන්න පුළුවන් 1st  class 1ක පෙට්ටියක් තියෙනවා.ඒ තමයි නැරඹුම් මැදිරිය.මේකත් අඩුම තරමින් සතියකට කලින් වත්  බුක් කරන්න ඕනෙ(තව expo rail එකත් කලින් බුක් කරන්න පුළුවන්.).පොඩි මැණිකේ ගත්තහම සම්පූර්ණයෙන් පෙට්ටි 6ක් තියෙනව.1ක් 1st  class,1ක් 2nd  class,3ක් 3rd class,1ක් expo rail පෙට්ටිය.ඉතින් ඒක නිසා අඩු budget ට්‍රිප් යන කස්ටිය ගොඩක් යන්නේ 2nd හරි 3rd හරි නිසා ටිකක් කලියෙන් කොටුවට යන්න වෙනව.ඒ කියන්නේ අඩුම තරමින් පහ පහයි කාල විතර වෙනකොටවත් කොටුවේ ඉන්න ඕනෙ.මොකද ටිකට් ගන්නත් එපැයි.නැත්තන් ඉතින් ගලබොඩට යනකන් හිටන් තමයි යන්න වෙන්නෙ.කෝච්චිය 5.55ට කොටුවෙන් ඇද්දට 5.30ට විතර කොටුවට එනව.අපි ගියේ 2nd class පෙට්ටියේ.ගාන එක්කෙනෙක්ට 230/=.3rd class එකේ එක්කෙනෙකුට ගාන 125/=.1st class නම් 430/=ක් වෙනව.expo එකේ ගනං නම් මම දන්නෙ නෑ.පොඩි මැණිකේ මිස් උනොත් ඉතින් සොරිම තමයි.මොකද ආපහු ගලබොඩ යන්න train එකක් සෑහෙන වෙලාවකට නෑ.

                                   ඔය කියපු ඔක්කොම ටික වරද්දන්නෙ නැතුව කරගෙන අපි කට්ටිය කොටුවෙන් 5.55ට පිටත් උනා.අපි හැමෝටම වාඩිවෙන්නත් හම්බුනා.ආ ...ආයි පාරක් කියන්න අමතක උනානේ.මම ටිකක් විතර කෝච්චි පිස්සෙක්(චුට්ටයි හොඳේ.).ඒක නිසා මම කලින්ම රඹුක්කන ඉඳල පේරාදෙණියට යනකන් එන්ජිමේ යන්න මට විතරක් සෙට් කරගත්ත.(16කට යන්න බැහැනේ.)එදා අපිව ගලබොඩ එක්කන් ගියේ M6 පන්තියේ 797 කියන හාදය.මෙයා හරි හැන්ඩිය.මෙයාගේ පින්තුරයක් මම ඉහල දාල තියෙනවා.අපි කට්ටිය මග දිගට සින්දු කියාගෙන(අහගෙන ඉන්න අමාරු උනත්.)ආතල් එකේ ආව.උදේ කෑම ගත්තෙ train එකේදීමයි.කලින් පිළියෙළ කරගෙන ආපු සීනි සම්බෝලයි චිලි පේස්ට් සමග ඊට කලින් දවසෙ හවස ගත්ත පාන් අපේ කුස පිරෙව්වා.කොහොමින් කොහොම හරි කෝච්චිය රඹුක්කනට ලඟා වෙනකොට මම මගේ කැමරා උපාංග ටිකත් ලෑස්ති කරගෙන බහින්න ලෑස්ති උනා.මොකද එන්ජිමට පැන ගන්න එපැයි.                                                                                                                                  


මීළඟ කොටස ළඟදීම බලාපොරොත්තුවන්න......(එක දිගට ලියන්න ගියහම එපා වෙනව අප්පා......) 

5 comments:

  1. You have a very talented writing skill my brdr...it's really amazing..keep writing like this bope.finally i saw a friend who got amazing observation with well improved writing skills...

    ReplyDelete
  2. Nice work bope. Keep it up. :)

    ReplyDelete
  3. Well done BOPE Moriyate hehe .... continue ur good work......

    ReplyDelete