Saturday, August 29, 2015

දුම්රිය මග දිගේ පට්ටිපොල සිට හපුතලේ දක්වා. - 02 කොටස.

මීට කලින් ලිපියෙන් පට්ටිපොල සිට ඔහිය තෙක් ගමන මා විස්තර කලා.එම ලිපිය කියවපු නැති අය ඒක මෙතනින් බලන්න.එහෙනම් අද ඔහිය සිට ඉතුරු ගමන පටන් ගමු.

ඔහියට පැමිණි වහාම ඔහිය දුම්රිය ස්ථානය ඉදිරිපස ඇති ගාමිණී අයියාගේ කඩයෙන් උදේ කෑම ලබාගත් අපි ගමනේ ඉතුරු කොටස සඳහා පිටත් උනා.මෙහිදී මතුවට සංචාරයේ යෙදෙන්නෙකු සඳහා වැදගත් කරුණු කිහිපයක් මා සඳහන් කරන්නම්.බොහොමයක් සංචාරකයින් මහ එලිය සංචාරයේ යෙදෙන්නේ පට්ටිපොල හෝ ඔහිය යන ප්‍රසිද්ධ මාර්ග හරහායි.පට්ටිපොල වෙත දුම්රියෙන් පැමිණෙන ඔබට එතැන් සිට පාගමනින් හෝ කුලියට ලබාගත් වාහනයක් මගින් කිලෝමීටර 8කට මදක් නොවැඩි ප්‍රමාණයක් ගමන් කිරීමෙන් පට්ටිපොල අන්තයෙන් මහ එලියට ලඟාවිය හැකියි.මේ සඳහා ඔබට ගමන පැමිණීමට පෙරාතුව පට්ටිපොලින් වාහනයක් සූදානම් කරගත යුතු වනවා.ඔහිය අන්තයේ සිට මහ එලියට ඇති දුර පිලිබඳව නිශ්චිතව මා නොදන්නා අතර කෙසේ වෙතත් එහිද සැලකිය යුතු වෙනසක් නැති බව මගේ අදහසයි.ඔහිය සහ පට්ටිපොල යන දුම්රිය ස්ථාන 2ක අවටින් නැවතීම සඳහා නවාතැන් පහසුකම් සොයාගැනීමට හැකියාව තියෙනවා.

ඔහියෙන් පිටත් වන අපගේ මීළඟ නැවතුම ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානයයි.ඔහිය සිට ඉදල්ගස්හින්න දක්වා දළ වශයෙන් කිලෝමීටර 9ක දුරක් ඇති අතර මේ දුර තුල දුම්රිය බිංගෙවල් 13ක් විසිරී පවතී.මෙය ශ්‍රී ලංකාව තුල දුම්රිය ස්ථාන 2ක් අතර පවතින වැඩිම බිංගෙවල් ගණනයි.ඔහිය පසුකර ඉදල්ගස්හින්න දෙසට ගමන් කරන විට අංක 22 දරන බිංගෙය පළමුව මුණගැසේ.මෙලෙසින් අංක 23,24,25 පසුකරමින් ගමන් කරන අපට අංක 28 බිංගෙය  පසුකල පසු දුම්රිය මාර්ග පරීක්ෂක මහත්වරුන් දෙදෙනෙකු මුණගැසුණු අතර ඔවුන් පැවසුවේ තවත් ස්වල්ප මොහොතකින් බදුල්ල සිට කොළඹ බලා දිවෙන පොඩිමැණිකේ දුම්රිය පැමිණෙනු ඇති බවයි.ඔවුන් පැවසු ලෙසින් තවත් ස්වල්ප මොහොතකින් අප ඉදිරියේ පෙනී සිටියේ S12 බලවේග කට්ටලයකින් හැඩවුණු පොඩිමැණිකේ දුම්රියයි.අංක 29 දුම්රිය බිංගෙය තුලින් මතුවූ ඇය අපව පසුකර අංක 28 බිංගෙය තුලින් නොපෙනී ගියා.ඇය ගියපසු තවත් මොහොතක් රැඳුනු අපි ඉදල්ගස්හින්න බලා පිටත් උනා.

ඉදල්ගස්හින්න  දුම්රිය ස්ථානයට ලඟා වනවිට දහවල් වී තිබූ අතර ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානයට අවට චායාරුප ගත කරමින් සිටි අපට මීළඟට මුණගැසුනේ කොළඹින් උදෑසන 5.55 ට පිටත්වී බදුල්ල බලා දිවෙන පොඩිමැණිකේ සීග්‍රගාමී දුම්රියයි.වංගුවක ආකාරයෙන් නිමවා තිබූ දුම්රිය මාර්ගය සහ දුම්රිය ස්ථානය නිසා සම්පූර්ණ දුම්රියම හොඳින් චායාරූපගත කරගන්න පුලුවන්වුනා.පොඩිමැණිකේ පිටත් වූ පසු අපගේ ගමනාන්තය වන හපුතලේ දෙසට යාමට ප්‍රථම ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානයේ සිට වම්පසින් වූ මාර්ගයේ මදදුරක් ගමන් කර එක්තරා අපූරු ස්ථානයකට වෙත යෑමට අප තීරණය කලා.කුඩා නැරඹුම් කුටියක් ඉදිකර තිබූ එම ස්ථානයට අප පසුකර පැමිණි හෝර්ටන් තැන්න සහ අවට කඳුපන්ති හොඳින් දර්ශනය උනා.පැයකට ආසන්න කාලයක් එහි රැඳුනු අපි නැවත ඉදල්ගස්හින්නට පැමිණ දවසේ ගමනාන්තය වූ හපුතලේ බලා පිටත් උනා.

ඉදල්ගස්හින්නේ සිට හපුතලේ දක්වා කිලෝමීටර 7.5කට ආසන්න දුරක් පවතී.ඉදල්ගස්හින්න පසුකර හපුතලේ දෙසට ගමන් කරනවිට හමුවන පලවන බිංගෙය පසුවූ විට දකුණු පසින් තංගමලේ අභයභුමිය හමුවේ.මෙම ස්ථානයෙන් තංගමලය අභයභුමිය වෙත ඇතුළුවී ඇඩිශම් බංගලාව දක්වා කැලය තුලින් ගමන් කල හැක.මෙතැන් සිට දුම්රිය මාර්ගය මෙම අභයභූමියට සමාන්තරව හපුතලේ තෙක් විහිදී යයි.දකුණු පසින් අභයභුමියටද, වම් පසින් වැලිමඩ සානුව සහ බොරලන්ද ආදී නගර දිස්වන මිටියාවතටද  මායිම්ව උඩරට දුම්රිය මාර්ගය ඉදල්ගස්හින්න සහ හපුතලේ අතර විහිදී පවතී.කොටුවෙන් උදැසන පිටත් වී බදුල්ල බලා දිවෙන M6 පංතියේ එන්ජිමකින් බලගැන්වුණු බදුල්ල සීඝ්‍රගාමී දුම්රිය රුමේනියානු මැදිරි කිහිපයත් රැගෙන බදුල්ල බලා අප පසුකර ඇදී ගියා.හපුතලේ දුම්රිය ස්ථානයට පෙර ග්ලෙනනෝර් ලෙසින් කුඩා වතු දුම්රිය ස්ථානයක් හපුතලේ ලංවත්ම දැකගන්න පුලුවන්.මෙතැන් සිට තංගමලය අභයභුමිය අවසන් වන අතර එතැන් පටන් හපුතලේ දක්වා තරමක් ජනාකීර්ණ ප්‍රදේශයක් හරහා දුම්රිය මාර්ගය විහිදී යයි.

තවත් පැයක පමණ ගමනකින් අනතුරුව හපුතලේ දුම්රිය ස්ථානය වෙත ළඟාවූ අප රාත්‍රී තැපැල් දුම්රියෙන් නැවත කොළඹ බලා පිටත් උනා.දවස අවසාන වනවිට කිලෝමීටර 30කට ආසන්න දුරක් අප පයින් ගමන් කර තිබුනා.මෙලෙසින් තවත් එක් සුන්දර සහ වෙහෙසකර  දුම්රිය චාරිකාවක අවසානය සනිටුහන් වෙනවා.මෙවැනි චාරිකාවකින් නැවත ඔබව හමුවන බලාපොරොත්තුවෙන් සමුගන්නා මම... මොරියාටි.ඔබ සැමට සුබ දවසක්..!

ගමනේ තවත් චායාරූප කිහිපයක් පහතින්...
















4 comments: