Saturday, August 29, 2015

දුම්රිය මග දිගේ පට්ටිපොල සිට හපුතලේ දක්වා. - 02 කොටස.

මීට කලින් ලිපියෙන් පට්ටිපොල සිට ඔහිය තෙක් ගමන මා විස්තර කලා.එම ලිපිය කියවපු නැති අය ඒක මෙතනින් බලන්න.එහෙනම් අද ඔහිය සිට ඉතුරු ගමන පටන් ගමු.

ඔහියට පැමිණි වහාම ඔහිය දුම්රිය ස්ථානය ඉදිරිපස ඇති ගාමිණී අයියාගේ කඩයෙන් උදේ කෑම ලබාගත් අපි ගමනේ ඉතුරු කොටස සඳහා පිටත් උනා.මෙහිදී මතුවට සංචාරයේ යෙදෙන්නෙකු සඳහා වැදගත් කරුණු කිහිපයක් මා සඳහන් කරන්නම්.බොහොමයක් සංචාරකයින් මහ එලිය සංචාරයේ යෙදෙන්නේ පට්ටිපොල හෝ ඔහිය යන ප්‍රසිද්ධ මාර්ග හරහායි.පට්ටිපොල වෙත දුම්රියෙන් පැමිණෙන ඔබට එතැන් සිට පාගමනින් හෝ කුලියට ලබාගත් වාහනයක් මගින් කිලෝමීටර 8කට මදක් නොවැඩි ප්‍රමාණයක් ගමන් කිරීමෙන් පට්ටිපොල අන්තයෙන් මහ එලියට ලඟාවිය හැකියි.මේ සඳහා ඔබට ගමන පැමිණීමට පෙරාතුව පට්ටිපොලින් වාහනයක් සූදානම් කරගත යුතු වනවා.ඔහිය අන්තයේ සිට මහ එලියට ඇති දුර පිලිබඳව නිශ්චිතව මා නොදන්නා අතර කෙසේ වෙතත් එහිද සැලකිය යුතු වෙනසක් නැති බව මගේ අදහසයි.ඔහිය සහ පට්ටිපොල යන දුම්රිය ස්ථාන 2ක අවටින් නැවතීම සඳහා නවාතැන් පහසුකම් සොයාගැනීමට හැකියාව තියෙනවා.

ඔහියෙන් පිටත් වන අපගේ මීළඟ නැවතුම ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානයයි.ඔහිය සිට ඉදල්ගස්හින්න දක්වා දළ වශයෙන් කිලෝමීටර 9ක දුරක් ඇති අතර මේ දුර තුල දුම්රිය බිංගෙවල් 13ක් විසිරී පවතී.මෙය ශ්‍රී ලංකාව තුල දුම්රිය ස්ථාන 2ක් අතර පවතින වැඩිම බිංගෙවල් ගණනයි.ඔහිය පසුකර ඉදල්ගස්හින්න දෙසට ගමන් කරන විට අංක 22 දරන බිංගෙය පළමුව මුණගැසේ.මෙලෙසින් අංක 23,24,25 පසුකරමින් ගමන් කරන අපට අංක 28 බිංගෙය  පසුකල පසු දුම්රිය මාර්ග පරීක්ෂක මහත්වරුන් දෙදෙනෙකු මුණගැසුණු අතර ඔවුන් පැවසුවේ තවත් ස්වල්ප මොහොතකින් බදුල්ල සිට කොළඹ බලා දිවෙන පොඩිමැණිකේ දුම්රිය පැමිණෙනු ඇති බවයි.ඔවුන් පැවසු ලෙසින් තවත් ස්වල්ප මොහොතකින් අප ඉදිරියේ පෙනී සිටියේ S12 බලවේග කට්ටලයකින් හැඩවුණු පොඩිමැණිකේ දුම්රියයි.අංක 29 දුම්රිය බිංගෙය තුලින් මතුවූ ඇය අපව පසුකර අංක 28 බිංගෙය තුලින් නොපෙනී ගියා.ඇය ගියපසු තවත් මොහොතක් රැඳුනු අපි ඉදල්ගස්හින්න බලා පිටත් උනා.

ඉදල්ගස්හින්න  දුම්රිය ස්ථානයට ලඟා වනවිට දහවල් වී තිබූ අතර ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානයට අවට චායාරුප ගත කරමින් සිටි අපට මීළඟට මුණගැසුනේ කොළඹින් උදෑසන 5.55 ට පිටත්වී බදුල්ල බලා දිවෙන පොඩිමැණිකේ සීග්‍රගාමී දුම්රියයි.වංගුවක ආකාරයෙන් නිමවා තිබූ දුම්රිය මාර්ගය සහ දුම්රිය ස්ථානය නිසා සම්පූර්ණ දුම්රියම හොඳින් චායාරූපගත කරගන්න පුලුවන්වුනා.පොඩිමැණිකේ පිටත් වූ පසු අපගේ ගමනාන්තය වන හපුතලේ දෙසට යාමට ප්‍රථම ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානයේ සිට වම්පසින් වූ මාර්ගයේ මදදුරක් ගමන් කර එක්තරා අපූරු ස්ථානයකට වෙත යෑමට අප තීරණය කලා.කුඩා නැරඹුම් කුටියක් ඉදිකර තිබූ එම ස්ථානයට අප පසුකර පැමිණි හෝර්ටන් තැන්න සහ අවට කඳුපන්ති හොඳින් දර්ශනය උනා.පැයකට ආසන්න කාලයක් එහි රැඳුනු අපි නැවත ඉදල්ගස්හින්නට පැමිණ දවසේ ගමනාන්තය වූ හපුතලේ බලා පිටත් උනා.

ඉදල්ගස්හින්නේ සිට හපුතලේ දක්වා කිලෝමීටර 7.5කට ආසන්න දුරක් පවතී.ඉදල්ගස්හින්න පසුකර හපුතලේ දෙසට ගමන් කරනවිට හමුවන පලවන බිංගෙය පසුවූ විට දකුණු පසින් තංගමලේ අභයභුමිය හමුවේ.මෙම ස්ථානයෙන් තංගමලය අභයභුමිය වෙත ඇතුළුවී ඇඩිශම් බංගලාව දක්වා කැලය තුලින් ගමන් කල හැක.මෙතැන් සිට දුම්රිය මාර්ගය මෙම අභයභූමියට සමාන්තරව හපුතලේ තෙක් විහිදී යයි.දකුණු පසින් අභයභුමියටද, වම් පසින් වැලිමඩ සානුව සහ බොරලන්ද ආදී නගර දිස්වන මිටියාවතටද  මායිම්ව උඩරට දුම්රිය මාර්ගය ඉදල්ගස්හින්න සහ හපුතලේ අතර විහිදී පවතී.කොටුවෙන් උදැසන පිටත් වී බදුල්ල බලා දිවෙන M6 පංතියේ එන්ජිමකින් බලගැන්වුණු බදුල්ල සීඝ්‍රගාමී දුම්රිය රුමේනියානු මැදිරි කිහිපයත් රැගෙන බදුල්ල බලා අප පසුකර ඇදී ගියා.හපුතලේ දුම්රිය ස්ථානයට පෙර ග්ලෙනනෝර් ලෙසින් කුඩා වතු දුම්රිය ස්ථානයක් හපුතලේ ලංවත්ම දැකගන්න පුලුවන්.මෙතැන් සිට තංගමලය අභයභුමිය අවසන් වන අතර එතැන් පටන් හපුතලේ දක්වා තරමක් ජනාකීර්ණ ප්‍රදේශයක් හරහා දුම්රිය මාර්ගය විහිදී යයි.

තවත් පැයක පමණ ගමනකින් අනතුරුව හපුතලේ දුම්රිය ස්ථානය වෙත ළඟාවූ අප රාත්‍රී තැපැල් දුම්රියෙන් නැවත කොළඹ බලා පිටත් උනා.දවස අවසාන වනවිට කිලෝමීටර 30කට ආසන්න දුරක් අප පයින් ගමන් කර තිබුනා.මෙලෙසින් තවත් එක් සුන්දර සහ වෙහෙසකර  දුම්රිය චාරිකාවක අවසානය සනිටුහන් වෙනවා.මෙවැනි චාරිකාවකින් නැවත ඔබව හමුවන බලාපොරොත්තුවෙන් සමුගන්නා මම... මොරියාටි.ඔබ සැමට සුබ දවසක්..!

ගමනේ තවත් චායාරූප කිහිපයක් පහතින්...
















Sunday, March 29, 2015

දුම්රිය මග දිගේ පට්ටිපොළ සිට හපුතලේ දක්වා- 01 කොටස

      මෙච්චර දවසක් ගියපු, ලියපු චාරිකා වලට වඩා වෙනස්ම ආකාරයේ ගමනක් තමයි මේක.සුපුරුදු දුම්රිය චාරිකාවක් වූ මේ ගමන සාමාන්‍ය දුම්රිය ගමනකට එහා ගිය අපූරු චාරිකාවක්.දුම්රිය ගමන් කරන දුම්රිය මග දිගේ දුම්රියෙන් පමණක් නෙවෙයි පාගමනින්ද ගමන් කරපු අලුත්ම අත්දැකීම් සමුදායක් එක්කරගත්තු ගමනක්.සරලවම කියනවනම් බොහොමයක් දුම්රිය ලෝලීන් ප්‍රිය කරන, Rail Hike ලෙසින් ඔවුන් අතර ප්‍රසිද්ධ දුම්රිය මග දිගේ අවට සිරි නරඹමින් පාගමනින් සිදුකල ගමනක් ගැන තමයි මේ කියන්න ලැහැස්ති වෙන්නෙ.ඉගෙනුම් කටයුතු සහ වෙනත් වැඩ රාජකාරි අධික නිසා මේ සටහන ලියවෙන්න ටිකක් කල්ගතවුනා.

අපේ මේ සැරේ ගමන වුනේ ලංකාවේ උසම දුම්රිය ස්ථානය වන පට්ටිපොල දුම්රිය නැවතුම සහ එතැන් සිට බදුල්ල දෙසට කිලෝමීටර 23ක් පමණ ගියවිට හමුවන හපුතලේ කියන දුම්රිය නැවතුම අතර දුම්රිය මග දිගේ පාගමනින් ගමන් කිරීමයි.මෙවර අපගේ සුපුරුදු ගමන් සඟයා වුනේ කොළඹ කොටුවෙන් රාත්‍රී 8.00ට බදුල්ල බලා දිවෙන රාත්‍රී තැපැල් දුම්රියයි. සුපුරුදු පරිදි දෙමටගොඩ ධාවනාගාරයේ සිට කොළඹ කොටුව වෙත පැමිණෙන රාත්‍රී තැපැල් දුම්රියට මරදානෙන් ගොඩවූ අපි පට්ටිපොළ බලා වූ අපේ ගමන ආරම්භ කළා. 

ඝන අඳුර සහ මීදුම මැදින් මුළු ලොවම නින්දේ පසුවෙද්දී බදුල්ල බලා දිවෙන රාත්‍රී තැපැල් දුම්රිය ක්‍රමයෙන් අපගේ ගමනාන්තය කරා අපව රැගෙන යමින් තිබුනා.හෙට දවසේ සිදු කිරීමට නියමිත ගමන පිළිබඳව සිතේ තිබූ ආශ්වාදජනක හැඟීම නිසාම රාත්‍රිය පුරාවට අප පසුවූයේ අඩනින්දේ.කිලෝමීටර 225ක පමණ දුරක් ගෙවාගෙන අවසානයේ බදුලු රාත්‍රී තැපැල් දුම්රිය අලුයම 4.30 පමණ වනවිට පට්ටිපොළ දුම්රිය ස්ථානය වෙත ලඟාවූවා.


තැපැල් දුම්රිය
පට්ටිපොලදී තවත් මොහොතක් රැඳුනු ඇය අපට සමුදී බදුල්ල බලා පිටත් වුනා.අප පට්ටිපොළ දුම්රිය ස්ථානය වෙත ළඟාවන විට එහි පැවතියේ දරාගත නොහැකි සීතලක්.


පට්ටිපොල

උදෑසන හිරු උදාවට තවත් පැය එකහමාරක පමණ කාලයක් තිබුණු නිසා දුම්රිය ස්ථානයේ තිබුණු විවෙකගැනීමේ කාමරයට වැදුණු අපි හිරු උදාවනතුරු රැඳී සිටියා.උදෑසන 6 පමණ වනවිට මිහිදුම් සළු අතරින් දවසේ පළමු කිරණ ඉතා දැකුම්කලු වටපිටාවක් නිර්මාණය කරමින් අපගේ ගමන ආරම්භ කිරීමට සුදුසු වටපිටාව සකසා දුන්නා.පට්ටිපොල දුම්රිය ස්ථානය ඇතුළු වටපිටාව ඡයාරුපගත කරගැනීමට තවත් මොහොතක් රැඳුනු අපි අපගේ ගමන ආරම්භ කළා. 


 
 

                 


                                  



                                 

පට්ටිපොල පසුකර බදුල්ල දෙසට විහිදෙන දුම්රිය මාර්ගය, සුන්දර මහ එලිය හෙවත් හෝර්ටන්තැන්න වන සීමාව තුලින් ගමනේ යෙදෙනවා.මද දුරක් ගමන් කල අපට පළමුව මුණගැසුනේ ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ගයේ උසම ස්ථානයයි. Summit Level ලෙසින් ලී පුවරුවක් එම ස්ථානයේ රඳවා තිබෙනු දැකගන්න පුළුවන්.මෙතනට පැමිණි අපට උදෑසන හිරුකිරණින් නැහැවුණු තවමත් මිහිදුම් සේලයෙන් වැසී ඇති මහ එලියට අයත් කඳු දැකගැනීමට හැකිවුණා. 


                            


                             



මෙතැන් සිට ඔහිය දක්වා කිසිදු ජනාවාසයක් නොමැති අතර විටින් විට හමුවන දුම්රියත්, දුම්රිය මග පරීක්ෂා කරන මහත්වරුනුත් හැරුණු කොට අපට වෙනත් කිසිවෙකු මුණගැසුනේ නැහැ.Summit Level පසුකර ඉදිරියට ඇදෙන අපට පළමුව මුණගැසෙන්නේ උඩරට දුම්රිය මාර්ගයේ දිගින් 3න් වන ස්ථානයේ වැජබෙන බිංගෙයයි.Tunnel No 18 හෙවත් උඩරට දුම්රිය මාර්ගයේ 18 වැනි බිංගෙය වන මෙය වර්ෂ 1951 දී නායයෑම් නිසා හානියට පත්වූ අතර නැවත වර්ෂ 1981 වනවිට සම්පූර්ණයෙන් සාදා නිමකිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවරුන් ඇතුළු කාර්මික මණ්ඩලය සමත් විය.ඒ ඉතිහාසයෙන් බිඳකි.


18 බිංගෙය 
                       



                               


ඝන අඳුරින් වැසුනු බිංගෙය තුලින් මීටර 322ක පමණ දුරක් ඇවිදගිය අපට අත්දැකගැනීමට හැකිවුණේ පට්ටිපොල අන්තයේදී පැවති කාලගුණ තත්ත්වයට හාත්පසින්ම වෙනස් වූ තත්ත්වයක්.මෙය මෙම බිංගෙයටම ආවේණික වූ සුවිශේෂී ලක්ෂණයක්. 


ඔහිය අන්තය 
                                       



අංක 19 බිංගෙය ඈතින් දිස්වේ.
                         

එම බිංගෙය පසුකර තවත් මද දුරක් ගමන්කරන විට තවත් දිගින් අඩු බිංගෙයක් හමුවන අතර මේ ලෙසින් පට්ටිපොල සහ ඔහිය අතර තැනින් තැන විසිරී ඇති බිංගෙවල් ගණන 4කි.

                              

සුන්දර මහ එලිය මායිමේ දිවෙනා පට්ටිපොල ඔහිය දුම්රිය මග දිගේ සුන්දරත්වය විඳිමින් ඉදිරියට ගමන් කරන අපට පළමුව මුණගැසුනේ බදුල්ල සිට පැමිණෙන උඩරට මැණිකේ දුම්රියයි.



      
උඩරට මැණිකේ.


S12 බලවේග කට්ටලයකින් බලගැන්වුණු ඇය අපව පසුකර කඳු අතරින් නොපෙනී ගියා.කෙසේ වෙතත් කඳු පංති අතරින් දඟර ගැසෙමින් ඇදී යන දුම්රිය මාර්ගය නිසා තවත් සෑහෙන දුරක් යනතුරු අපට දුම්රිය එන්ජිමෙහි හඬ ඇසුනා.ඔහියට ළඟාවීමට ප්‍රථම අපට හමුවුනේ මහ එලියේ සිට ගලා බසිනා සීතල දිය පහරක් හරහා නිමවුණු අපූරු යකඩ පාලමකි.මේ ලෙසින් පට්ටිපොල සිට කිලෝමීටර 7කට ආසන්න දුරක් පයින් ගමන් කරතිබූ අප ඔහිය වෙත ළඟාවුනා.



  
ඔහිය 

 


              

ඔහිය සිට ගමනේ ඉතුරු කොටස මීළඟ ලිපියෙන්......