Saturday, July 13, 2013

අලට කන්න බැරි අලගල්ලේ කන්ද...part-02

ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානයට අලගල්ල කන්දට අමතරව බතලේගල සහ උතුවන්කන්ද යන කඳුත් පැහැදිලිව දිස් වෙනව.දුම්රිය ස්ථානය ආසන්නයේදී මා විසින් ලබාගත් චායාරූප කිහිපයක් පහල දාල තියෙනව.


බතලේගල.


අමුතු ගහක්..


ඉහළ කෝට්ටේ ගම්මානය ආශ්‍රිත කුඹුරු..


ඔන්න දැන් තමයි අපේ ගමනේ ප්‍රධාන ඉලක්කයට අපි එන්නෙ.මීයන්ගල්ල දුම්රිය උමග බලල නැවත දුම්රිය ස්ථානයට ආපු අපි දුම්රිය ස්ථානාධිපතිතුමන්ගෙනුත් අලගල්ල ගැන තවත් විස්තර අහගෙන වතුර එහෙමත් පුරවගෙන අලගල්ල බලා පිටත් උනා.

අලගල්ල කන්ද ගැනත් විස්තර ටිකක් කිව්වොත් හොඳයි කියල හිතුනු නිසා ඒ ගැනත් ටිකක් කියල ඉන්නම්.අලගල්ල කන්ද 1148m උසකින් යුක්ත වෙනව කියල අන්තර්ජාලයේ හොයද්දි මට හම්බුනා.ඒ වගේම අලගල්ල හා සම්බන්ධ අපූරු විස්තර වගයකුත් මට දැනගන්න ලැබුන.අලගල්ල කන්ද ආශ්‍රිතව පදිංචි වෙලා ඉන්න මිනිස්සු හැම අවුරුද්දකම පෙබරවාරි 4 වෙනිදට අලගල්ල කන්ද නගින බවට මට ආරංචි උනා.මේකට හේතුව හොයාගෙන යනකොට අන්තර්ජාලයේ අපූරු ලිපියක් හමුවුනා.මේකෙ සඳහන් වෙන විදියට 1948 පෙබරවාරි මාසෙ 4 වෙනිද ,ඒ කියන්නෙ අපේ රටට නිදහස ලැබිච්ච දවසෙ අලගල්ල ආශ්‍රිතව පදිංචි වෙලා හිටපු මිනිස්සු මේ ලැබෙනවයි කියන නිදහස බලන්න අලගල්ල කන්ද මුදුනට නැග්ගලු.

එදා ඉඳල පුරුද්දක් විදියට මේ වනතෙක් අලගල්ල ආශ්‍රිත පදිංචි මිනිස්සු හැම අවුරුද්දකම පෙබරවාරි 4 වෙනිදට අලගල්ල කන්ද නගිනවලු.ආරංචි විදියට නම් සැලකිය යුතු ප්‍රමාණයක් පෙබරවාරි 4 වෙනිදට අලගල්ල කන්ද නගිනවලු.ඒ වගේම පෙබරවාරි 4 වෙනිද වෙනකොට අලගල්ල ආශ්‍රිතව පදිංචි වෙලා ඉන්න මිනිස්සු එකතුවෙලා අලගල්ල මුදුනට යන පාර එලි-පෙහෙළි කරනවලු.මේක අලගල්ල ගිහිල්ල නැති යන්න බලාගෙන ඉන්න කෙනෙකුට හොඳ ආරංචියක්.මොකද පෙබරවාරි 4 වෙනිදයින් පස්සෙ ගමන දාගත්තොත් පහුසුවෙන්ම උඩට යාගන්න පුළුවන්.

අලගල්ල ගැන ඔය විස්තර ටික ඇති.තව දැනගන්න කැමති අයට Google සර්ච් කරොත් හොයාගන්න පුළුවන්.ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානය ඉස්සරහින්ම අපිට ගමන ආරම්භ කරන්න පුළුවන්.මෙතන තියෙනව ගල් වලින් හදාගත්තු පඩිපෙලක්.මේක දිගේ උඩහට යනකොට විශාල පර්වතයකට මායිම්ව හදපු පඩිපෙලක් නැවතත් හම්බවෙනව.මේ හරිය පහුකරන් දිගටම ගියාම ගෙවල් කිහිපයක් තියෙන පොඩි ගම්මානයක් වගේ ප්‍රදේශයක් හම්බවෙනවා.ගම්මානයක් නිසා මේ කොටසේ මිනිස්සු නිතරම ගැවසෙනවා.ඔවුන්ගෙන් ඉදිරි පාරත් අහගෙන හිස්වෙච්ච වතුර බෝතල් ටිකත් පුරවගෙනම අපි ගම්මානය පසු කරල ආව.


දුම්රිය ස්ථානය පසුකර එනවිට.....


පර්වතයට මායිම්වූ මාවත..
ගම්මානය පහුකරල එන්න තියෙන පාර තරමක ලොකු පාරක්.මේ පාර දිගේ ඉදිරියට එනකොට දිය පහරක් හරහා ඉදිකරපු බෝක්කුවක් හම්බවෙනවා.මෙතන ඉඳන් ටිකදුරක් එනකොට කුඩා බුදු මැදුරක් සහිත හංදියක් හම්බවෙනවා.මෙතන විශාල ගහක් එහෙමත් තියෙනව.හොයාගන්න ඉතාමත් පහසුයි.මෙතනින් වමට හැරුනම කලින් සඳහන් කල දිය පහර හරහාම ඉදිකරනලද තරමක විශාල ලී පාලමක් දැකගන්න පුළුවන්.මේකත් පහුකරන් ටිකක් දුර යනකොට කුඩා ජලපිහිල්ලක් මාර්ගයේ දකුනුඅත පැත්තෙන් දැකගන්න පුළුවන්.මේ පිහිල්ල තියෙන තැන ඉඳල තේ වතු සහ කුඩා කැලෑ හරහා තමයි ඉදිරි ගමන් මග වැටිල තියෙන්නේ.

පිහිල්ල තියෙන තැනින් උඩට නැගිය හැකි කුඩා අඩිපාරක් තියෙනව.මේක දිගේ දිගටම යනකොට තේ වත්තක් හම්බවෙනව.මේ තේ වත්තට දකුණු දෙසට වන්නට තරමක කන්දක් හරහා පැතිරුණු තවත් තේ වත්තක් තියෙනව.මේ තේ වත්තත් පහුකරන් උඩහට ගියහම නැවතත් කුඩා පාරක් හම්බ වෙනව.මේ පාර දිගේ තේ වතු හරහා කෙලින්ම ඉදිරියට ගමන් කරන්න තමයි තියෙන්නෙ.මම කලින් සඳහන් කල තේ වතු සහිත නිශ්චිත මාර්ගයක් හෝ මගසලකුණක් රහිත ප්‍රදේශය තුල පාර වැරදීමට ඇති ඉඩකඩ වැඩි බවයි මටනම් හිතෙන්නෙ.ඒක නිසා ප්‍රදේශයේ කාගෙන්හරි පාර අහගෙන උදව් ඇතිව යනවනම් වඩා හොඳයි.අපිව ඒ මාර්ගයේ එක්කන් ගියේ ඒ පැත්තෙ පදිංචි වෙලා ඉන්න සහෝදරයෙක්.ඔහු නිවසට යන ගමන් අපිට නිශ්චිත මාර්ගය පෙන්නල දුන්න.ඔහු කියපු විදියට මේක ෂෝර්ට් කට් එකක්.ප්‍රදේශයේ පදිංචි වෙලා ඉන්න මිනිස්සුන්ගෙන් මේ වගේ කෙටි පාරවල් එහෙම දැනගන්න පුළුවන්.ඒක නිසා නිතරම ඒ මිනිස්සුත් එක්ක කතා කරන්න.

ඔය ඉහලින් සඳහන් කල තේ වතු අතරින් ඉදිරියටම ගමන් කලහම අපි එනව නැවතත් කැලෑවක් ආරම්භ වෙන ස්ථානයකට.මෙතන ඉඳන් අලගල්ල කඳු මුදුන වෙනකන් කැලෑව සහ මානා පඳුරු අතරින් නැග්මක් තමයි තියෙන්නෙ.පළමුව කූඩැල්ලන් බහුල කැලෑ ප්‍රදේශයත් පසුව මානා සහිත ප්‍රදේශයත් හමුවෙනව.මේ දිගටම යනකන් හොඳ අඩිපාරක් තියෙනව.සමහර තැන් වල ගස් අතු කඩන් වැටිල පාර අවහිර වෙලා තියෙන්න පුළුවන්.කොහොම නමුත් මේ ගමන කලින් පසුකරන් ආපු හරියට වඩා දුෂ්කරයි සහ වෙහෙසදනවන සුළුයි.මම අරගෙන ආපු ග්ලූකෝස් සහ චොකලට් මේ කන්ද නැගල ඉවර වෙනකොට වාෂ්ප වෙලා තිබුන. 


ඔහොම දුෂ්කර ගමනක අවසානයේ අපි අලගල්ල කන්ද මුදුනට ලඟා වෙලා තිබුන.මලින් බරවුණු මානා පඳුරු අතරින් අලගල්ල කඳු මුදුන ඉතා දැවැන්තයෙකු ලෙසින් නැගී සිටියා. අවස්ථාවේ වර්ෂාවක ලකුණු පහළවී තිබුණේ තවත් ස්වල්ප වෙලාවක් පමණක් අපට ඉතිරි වී ඇති බව හඟවමින්.අපට දැකගන්නට ලැබුණු දර්ශනය වචන වලින් විස්තර කල නොහැකි තරම්.උඩරට දුම්රිය මාර්ගයේ ගමන් කරන දුම්රියන් ඉතා කුඩා පණුවන් ලෙසින් දැක ගන්නට හැකිවුනා.එමෙන්ම අප සිටි ස්ථානයට අලගල්ල දුම්රිය ස්ථානය ඉතා හොඳින් දිස්වුනා.අලගල්ලට නුවර දෙසින් වූ දුම්රිය මාර්ගයද අපට පැහැදිලිව දැකගත හැකිවුනා.

මලින් බරවුණු මානා පඳුරු අතරින් අලගල්ල කඳු මුදුන ඉතා දැවැන්තයෙකු ලෙසින් නැගී සිටියා.
ඉහළ කෝට්ටේ වෙත පැමිණෙන දුම්රියක්..

මාවනැල්ලට වහින හැටි...
කඳු මුදුනේ සිට ....
සරදියෙල්ගේ උතුවන්කන්ද..

මේ වනවිට වැස්ස ආරම්භ තිබුණු අතර පැයක පමණ කාලයක් අලගල්ල කඳුමුදුනේ ගතකල අපි නැවත පිටත්වුණා.නැවත පැමිණෙන ගමන ඉතා වේගවත් වුනා.නමුත් අපි අලගල්ල දුම්රිය ස්ථානයට පැමිණෙන විට වනවිට තිබූ අවසාන දුම්රියත් පිටත් වී තිබුනා.නැවත දුම්රියක් ඇත්තේ තවත් පැය 3කට පමණ පසුව වූ බැවින් අනෙකුත් ගමන් සඟයන්ට සමුදුන් මම ඉහල කෝට්ටේ ගම්මානයටත් එතැන් සිට මාවනැල්ලට පැමිණ අවසානයේ නවාතැන වෙත පැමිණුනා.ඒ අයුරින් තවත් එක් වෙහෙස දැනවූ නමුත් අතිසුන්දර ගමනක අවසානය සනිටුහන් වෙනව.තවත් මෙවන් වූ චාරිකා සටහනකින් ඔබසැම හමුවෙන තුරු සමුගන්නම්.ඔබ සැමට තෙරුවන් සරණයි..



6 comments:

  1. හරිම සුන්දර සටහනක්. දිගටම ලියන්න. ජයවේවා!

    ReplyDelete
  2. සුපිරි කියල වැඩක් නෑ මලයා.... තව ට්‍රිප් පලයන්.. ගිහිල්ල දාපන් අපිටත් බලන්න

    ReplyDelete
  3. නියමයි මචන්‍....තව ලියපන්, ෆටෝ ටිකත් එල!!!.

    ReplyDelete
  4. හැමෝටම ගොඩක් ස්තුතියි...!

    ReplyDelete
  5. විටිනා ලිපියක්. ඒ වගේම දූර්ලභ ඡායා රූප රැසක් තියෙනවා

    ලංකාවේ නිදහස්ම ෆෝරම් වෙබ් අඩවිය නෙතින් එහා සමඟ එකතු වෙන්න

    ReplyDelete
  6. මොරියාටි, මම අලගල්ල කඳු පන්තියට අදාළ wikipedia පිටුවක් එඩිට් කරමින් පවතිනවා.ඔබගේ බ්ලොග් පිටුවේ ඇති ඡායා රූප ඉතාම සුන්දරයි, පැහැදිලියි.මට ඒ ඡායාරූප wikipedia පිටුවට එකතු කරන්නට හැකිද? ඒ සඳහා ඔබගේ සහ ඡායාරූප ශිල්පියාගේ විරුද්ධත්වයක් නැති නම් මට ඔබගේ අවසරය ලබාදෙන email එකක් එවිය හැකිද?email එකේ ඡායාරූප ගත් කෙනාගේ නමත්, මම යෙදිය යුතු URL එකත් එවනවානම් මට ඒ විස්තරත් එකතු කරන්නට පුළුවන්. මගේ email එක anu_priya_93@yahoo.com.බොහෝම ස්තුතියි!

    ReplyDelete