Thursday, April 11, 2013

ගලබොඩ ඇල්ල සොයා....part-03





වැඩ රාජකාරි බහුල නිසා මේ පොස්ට් එක ලියන්න ටිකක් කල් ගත උනා. ඕං මම එදා නවත්තපු තැන ඒ කියන්නේ ගම්පොල ඉඳල ඉතුරු ටික ලියන්නයි හදන්නෙ.ගම්පොලින් පිටත් වුනු දුම්රිය ඔන්න දැන් නාවලපිටියටත් ආව.නාවලපිටියේදී දුම්රිය එන්ජිමේ කාර්ය මණ්ඩලය මාරු වෙනව.පොඩි මැණිකෙව කොළඹ ඉඳන් නාවලපිටිය වෙනකන් කැන්දාගෙන ආපු රියදුරු මහත්මයයි එතුමගේ සහයක තුමයි මෙතනින් එහාට මැණිකෙව අලුත් රියදුරු දෑතකට බාර දෙනව.එතන ඉඳන් බදුල්ල වෙනකන් අලුත් රියදුරු මහත්මය තමයි දුම්රිය අරන් යන්නෙ.මෙහෙම කරන්න හේතුව මම දන්නා විදියට නම් මේ බදුලු දුම්රිය ගමන ඉතා දීර්ඝ වෙහෙසකර එකක් වීමයි.කොහොමහරි මේ මාරු වීම නිසා නාවලපිටියේදී දුම්රියෙ ගමන් කරන මගියෙක්ට ඉක්මනට තේකක් එහෙම බීල එන්න වෙලා තියෙනව.ඒත් ටිකක් ඉක්මන් කරල කරන වැඩක් කරල එන්න ඕනෙ.තැපැල් දුම්රිය (නයිට් මේල්) වගේ ඒවනම් මෙතැන ටිකක් වැඩිපුර වෙලා නවත්තල තියෙනව.තැපැල් මලු බාගන්න පටවගන්න එහෙම ටිකක් වෙලා යනව.

නාවලපිටියෙන් බැහැල යන කෙනෙක්ට නාවලපිටිය තලවකැලේ පාරෙ කඩියන්ලෙන කියන ගම සමීපයේ තියෙන අපූරු කඩියන් ඇල්ල බලන්න යන්න පුළුවන්.මේ ඇල්ල බලන්න මම තාම ගිහිල්ල නෑ.ඒත් අහල තියෙන තොරතුරුවල හැටියට නම් මේ ඇල්ල පාර අයිනෙම තියෙන අපූරු දිය ඇල්ලක්.සැලකිල්ලෙන් නාන්න උනත් පුළුවන්ලු.නාවලපිටියේ ඉඳන් බස් එකේ ගියොත් විනාඩි 45ක් විතර යාවි.මේ නාවලපිටිය-තලවකැලේ පාරත් තරමක් ලස්සනයි කියල කියනව.කොහොම නමුත් මං මේ ගැන නිශ්චියටම කියන්න දන්නේ නෑ.මම මෙහෙ ලඟදි යන්න තමයි හිතන් ඉන්නේ.ගියාට පස්සේ වැඩිදුර විස්තර කියන්නම්.ඔන්න දැන් අපි නාවලපිටියෙනුත් පිටත් උනා.මෙතන ඉඳල ගලබොඩට වැඩි දුරක් නැහැ.නාවලපිටිය>ඉඟුරුඔය>ගලබොඩ විදියට තමයි දුම්රිය නැවතුම්පළවල් තියෙන්නෙ.නාවලපිටිය පහුවුනාට පස්සෙ ඔන්න නැවත වතාවක් උඩරට කඳුකරයේ අසිරිය දුම්රියේ යන මගියෙකුට දර්ශනය වෙන්න පටන් ගන්නව.නමුත් අපිට ගලබොඩින් බහින්න වෙන හින්ද ඒ අසිරිය විඳ ගන්න ලබුනෙ ටික වෙලාවකට විතරයි.ගලබොඩට කලින් හමුවෙන අංක 13 දරන බිංගෙය පහුවෙනවත් එක්කම වම් අත පැත්තෙ කන්ද හරහා තමයි අපිට ගලබොඩ ඇල්ල බලන්න යන්න තියෙන්නෙ.මේ කන්ද හරහා යනකොට දර්ශනය වුනු අංක 13 බිංගෙයි ගත්ත ෆොටෝස් වගයක් මම පහල දාල තියෙනව.






ඔන්න කොහොමින් කොහොමහරි අපි උදේ 10.20 විතර වෙනකොට ගලබොඩට ආව.එන්න ඕනෙ නම් 10.05ට උනත් මගදී වෙන සුළු සුළු ප්‍රමාදවීම් නිසා පොඩි මැණිකෙ ගොඩක් දවසට ගලබොඩට එනකොට 10.30 විතර වෙනව.     ගලබොඩදි අපිව ගෙනාපු පොඩි මැණිකෙ අපිට සමුදීල බදුල්ල බලා පිටත් උනා.දැන් ඔන්න අපි ඉන්නෙ ගලබොඩ ඉස්ටේසමේ.මේ දුම්රිය ස්ථානයේ වැසිකිලි පහසුකම් සහ ජලය එහෙම තියෙනව(හොඳ මට්ටමක නැහැ.) මම මොකද එහෙම සඳහන් කලේ...ඊට හේතුව මෙතනින් එහාට ගමනෙදි හවස් වෙනකන්ම ආයෙත් එහෙම පහසුකම් තියෙන තැනක් හමුවෙන්නෙ නැහැ.ඉතින් කරන දෙයක් මෙතනදී ඉවර කරගෙන යන එක ඇඟට ගුණයි.මොකද මේ වගේ දුර ගමන් වලදි ඔය වගේ නොයෙක් ගැටලු ඇතිවෙන්න පුළුවන්.ගෙනාපු බඩුමලු ටිකත් ඔක්කොම කරගහගත්ත අපි දුම්රිය ස්ථානයේ ටිකට් චෙක් කරන්න හිටපු මහත්මයගෙනුත් පාර අහගෙන ගමන පිටත් උනා.ආ...ඊට කලින් මම ගලබොඩ ගැනත් චුට්ටක් කියල ඉන්නම්.ගලබොඩ කියන්නෙ ප්‍රධාන මාර්ගයේ 151kmක් දුරින් තියෙන දුම්රිය ස්ථානය(මම වැරදි නම් නිවැරදි කරන්න..).මුහුදු මට්ටමේ ඉඳල 795m උසකින් තමයි මේ දුම්රිය ස්ථානය පිහිටල තියෙන්නෙ.ඒ වගේම මම කලිනුත් සඳහන් කරා වගේ ගලබොඩට එන්න පුළුවන් දුම්රියෙන් පමණයි.උඩරට මාර්ගයේ බොහොමයක් දුම්රිය ස්ථාන අතීතයේදී නිර්මාණය වෙලා තියෙන්නෙ දුම්රිය මාර්ගයට සමීපව තියෙන තේ වතු සම්බන්ධ කරගෙන.මොකද දුම්රිය සේවය මුලින්ම ආරම්භ වෙලා තියෙන්නෙ තේ දළු වැනි භාණ්ඩ ප්‍රවාහනය මුල් කරගෙන.පසුව එය මගී ප්‍රවාහනය දක්වා දියුණු උනාලු.ඉතින් මේ ගලබොඩ කියන දුම්රිය ස්ථානය සමීපයෙත් තියෙනව ගලබොඩ වතුයාය(Galaboda estate).දැනට මෙය එතරම් සක්‍රීය මට්ටමේ නැහැ.ඉතින් එහෙම වෙන්න ඇති මේ ගලබොඩ දුම්රිය ස්ථානයත් නිර්මාණය වෙලා තියෙන්නේ.

ඒ වගේම අතීතයෙ ඉඳල දැනට වසර කීපයකට පෙර වෙනකම්ම වටවලට තමයි ලංකාවේ වැඩිම වර්ෂාපතනය ලැබිල තියෙන්නෙ(දැන් වැඩිම වර්ෂාපතනය මාලිබොඩ).එතකොට මේ ගලබොඩ ඇල්ල ආරම්භ වෙන්නෙත් වටවල ප්‍රදේශයෙන්.ඒක නිසා අතීතයෙ හිටපු සුදු ආණ්ඩුකාරවරු සලකල තියෙනව ගලබොඩ ප්‍රදේශයේ තමයි ලංකාවේ පිරිසිදුම ජලය තිබිල තියෙන්නෙ කියල.ඒ අනුව ඔවුන්ගෙ අවශ්‍යතා සඳහා ජලය ගලබොඩින් සපයාගෙන තියෙනව.මේ සඳහා සාධක වන කුඩා පොකුණක් ගලබොඩ දුම්රිය ස්ථානය පසුපස තියෙනව.දුම්රිය ස්ථානාධිපතිතුමාගෙ අවසරය ඇතුව එතන බලන්න පුළුවන්. 

ගලබොඩින් බැහැල දිය ඇල්ලට යන්න දුම්රිය මාර්ගය දිගේ නාවලපිටිය පැත්තට,ඒ කියන්නේ අපි ආපු පැත්තට 100mක් විතර යන්න ඕනෙ.ඔහොම යනකොට මුලින්ම ඒ කියන්නෙ ස්ටේෂමේ ඉඳල 15m විතර දුරින් පොඩි කඩයක් අහුවෙනව.මෙතනින් තේකක් එහෙම බොන්න පුළුවන්.ඒ වගේම ඔයාලගේ දවල් කෑමත් මෙතනින් සපයාගන්න පුළුවන්.ඒ වුනත් එතන ගැන හැමදාම විශ්වාස කරන්න බැහැ.මොකද අපි යන දවසෙත් මම නිකමට වගේ එතනින් කෑම ගන්න පුලුවන්ද කියල විමසල බැලුව.නමුත් එදා ඔවුන්ට කෑම දෙන්න පුළුවන්කමක් තිබුනෙ නැහැ.එහෙම උනොත් බඩගින්නෙ ඉන්න තමයි වෙන්නෙ.ඒක නිසා පෙර සූදානම වඩා හොඳයි.

ඔය කඩෙත් පහුකරලා තවත් දුර යනකොට දකුණු අත පැත්තෙ කන්ද උඩට පාරක් අහුවෙනවා.මෙන්න මේ පාර දිගේ තමයි ඊගාවට යන්න ඕනෙ.ඔය කොහොම කිව්වත් යනොකට හම්බවෙන කට්ටියගෙන් පාර හරියටම අහගෙන යන එක වඩා හොඳයි.මොකද ඒ හමුවන සමහර අය මගසලකුණු වලට අමතරව වෙනත් වැදගත් දේවලුත් කියනවා.තම තමන්ගෙ බඩුමලු පරිස්සන් කරගන්න කියල එහෙමත් අපිට කිව්වා.ඒ මිනිස්සු කියන එකට ඇහුන්කන් දෙනේක වඩා හොදයි.මොකද එයාල ඒ දේවල් ගැන අපට වඩා හොඳින් දන්න නිසා තමයි එහෙම කියන්නෙ.අර කලින් කියපු තැනින් රේල් පාර දිගේ ආපු ගමන අවසාන වෙනව.ඊට පස්සෙ දකුණු අත පැත්තට හැරිලා ගමන් කරන කොට මුලින්ම හම්බ වෙනව ටිකට් ගන්න තැන.




ඉතුරු ටිකත් ළඟදීම දාන්නම්...