Friday, October 4, 2013

දිය සිඳුණු බඹරකන්ද සුකොමලිය සොයා ගිය ගමන..(02 කොටස)

                       බඹරකන්ද ඇල්ල මුදුනට සමුදී පිටත් වූ අපට පැය භාගයක පමණ කෙටි කාලයකින් පයිනස් වනාන්තර කොටස පල්ලම් බැස මාර්ගය කොටස් දෙකකට වෙන්වුණු දෙවන ස්ථානය වෙත ළඟාවීමට හැකියාව ලැබුනා.මේ එන ගමනේදී පර්වත මායිමෙන් පිටතට නෙරාගිය එක්තරා අපූරු නැරඹුම් ස්ථානයකට ගමන් කිරීමටද අප අමතක කලේ නැහැ.මෙහි ඇති සුවිශේෂිත්වය වන්නේ අංශක 360ක පමණ කෝණයකින් වටපිටාව දර්ශනය වීමයි.කෙසේ නමුත් මෙම ස්ථානයට ගමන් කිරීමේදී විශේෂයෙන් සැලකිලිමත් වීමට වගබලාගත යුතුයි.මෙහි එකවර කිහිප දෙනෙකුට රැඳී සිටීමට තරම් අවකාශයක් නැහැ.එමනිසා වරකට උපරිම දෙදෙනෙකු පමණක් ගමන් කිරීම ආරක්ෂාවට හිතකර වේ.
                                          පල්ලම් බැස එන ගමනේදී ලිස්සනසුළු මාර්ගයත්, ගුරුත්වයේ ආධාරයත් නිසා නිරායාසයෙන්ම පල්ලම් බැසීම සිදුවන අතර පුංචි පය ලිස්සා යාමකින් පහලින් ඇති හෙලේ කෙලවර විය හැකිය.අප කණ්ඩායමේ සඟයන් කිහිප දෙනෙකු ලිස්සා ගොස් ඔවුන්ගේ පශ්චාත්භාගය භූමිය සිපගත් අයුරුත් තවත් සමහරෙකු ගස් බදාගෙන සිටි අයුරුත් සිහිපත් වනවිට මේ දැනුදු මාගේ මුවගට සිනහවක් නැගේ.කෙසේ නමුදු කිසිදු අතුරු අන්තරාවකින් තොරව පල්ලම් බැසීමට අවසානයේ සියලු දෙනා සමත්වීම සැනසිල්ලට කරුණකි.
                         මෙසේ දෙවනුව මාර්ගය වෙන්වූ ස්ථානය කරා ළඟා වූ අප ලංකා ඇල්ල සොයා පිටත් විනි.ලංකා ඇල්ල කරා ගමන් කිරීමට ඇති මාර්ගය බඹරකන්ද ඇල්ලෙහි මුදුන වෙත ගමන් කල මාර්ගය තරම් අසීරු නැත.පළමුව පයිනස් වනාන්තර කොටසක් හරහා මාර්ගය වැටී ඇති අතර මෙම කොටසේ බොහෝ දුරට තැනිතලා මාර්ගයක් පවතී.එම පයිනස් වනාන්තර කොටස අවසානයේ නැවතත් සැවනා බිමක් වැනි උස්ව වැඩුණු ගස් නොමැති මානා වැනි පඳුරු සහිත ප්‍රදේශයකට මාර්ගය අවතීර්ණ වන අතර මෙම කොටස තුල මද දුරක් ගමන් කල විට නැවත මාර්ගය කොටස් දෙකකට වෙන්වේ.මෙතැන් සිට පහල මාර්ගයේ ගමන් කල විට ලංකා ඇල්ල පාමුල වෙතත්, උඩ මාර්ගයේ ගමන් කල විට ලංකා ඇල්ල ආරම්භ වන ස්ථානයටත් ගමන් කල හැකිය.මේ වන විට කාලය අපගේ ඉදිරි සැලසුම් වලට හරස් වෙමින් පැවති නිසා ලංකා ඇල්ල පාමුල වෙත පමණක් ගමන් කිරීමට තීරණය විය.
                           ඉහත සඳහන් කල පයිනස් වනාන්තර කොටස පසුකර සැවානා බිමක් වැනි ප්‍රදේශයට අවතීර්ණ වූ අපට අහස සිප ගනිමින් දැවැන්තයින් සේ නැගී සිටින දැකුම්කළු කඳුපන්තියක් දර්ශනයට හසුවිය.පයිනස් වැස්මෙන් තොර වූ එම කඳුපන්ති මුල් අවධියේ පටන් ස්වභාවිකව තිබු වන වැස්මෙන් තවදුරටත් ආවරණය වී තිබෙනු දැකීම මාගේ සිතට ගෙන ආවේ සැනසීමකි.අවට පරිසරයේ සුන්දරත්වයද නොඅඩුව රසවිඳිමින් අප ලංකා ඇල්ල පාමුල වෙත ක්‍රමයෙන් ලඟාවෙමින් තිබිණි.ලංකා ඇල්ල මගින් උල්පත සැපයෙන ජල මාර්ගය වම් පසින් දැකගැනීමට හැකිවන අතර එහි එක් ස්ථානයක කුඩා ප්‍රමාණයේ දිය ඇල්ලක්ද විනි.මේ අයුරින් මද දුරක් ගමන් කරන විට ලංකා ඇල්ලෙහි ඉහල කොටස පළමුව දර්ශනය වීමට පටන් ගනී.ඒ අනුව තවත් විනාඩි කිහිපයක ගමනකින් අනතුරුව ලංකා ඇල්ලෙහි පාමුල වෙත ළඟාවීමට අපට හැකියාව ලැබුණි.  


දැකුම්කලු කඳුපන්තිය...

සැවානා බිම..

තව පොඩ්ඩයි....

අතරමග හමුවූ කුඩා ඇල්ල 

                         මහා ඝෝසාවක් නගමින් ඇද හැලෙන ඒ හැඩකාරිය දෙස දවසක් වුවද බලා සිටිය හැකි තරම් සුන්දරය.ලංකාවක හැඩයෙන් යුතු දිය පහර නිසා එයට ලංකා ඇල්ල යන නම පටබැඳුනා වියයුතුය.බඹරකන්ද ඇල්ලට වඩා හාත්පසින්ම වෙනස් වූ ඇය බඹරකන්දට වඩා සුන්දරත්වයෙන්ද වැඩි බව මාගේ හැඟීමයි.ලංකා ඇල්ල පාමුල ඇති තටාකය තරමක් ගැඹුරු බව වැටහී ගිය නිසා එහි පය නොතැබීමට අප ප්‍රවේශම් විය.ආරක්ෂාවට සැමවිටම මුල්තැන හිමි විය යුතුය.බඹරකන්ද නැරඹීමට පැමිණෙන බොහොමයක් සංචාරකයන් මෙම ඇල්ල පිළිබඳව නොදන්නවා විය යුතුය.මන්දයත් එසේ පැමිණෙන පිරිස අතරෙන් ඉතාමත් සුළු පිරිසක් පමණක් මෙහි ලඟාවීමයි. ඔබ යම් දිනෙක බඹරකන්ද ඇල්ල නැරඹීමට පැමිණේ නම් ලංකා ඇල්ල වෙත පැමිණීමටද අමතක නොකරන්න.මෙසේ තවත් අඩහෝරාවකට වැඩි කාලයක් රැඳී සිටීමෙන් අනතුරුව ලංකා ඇල්ල වෙත සමුදී දවසේ අවසාන සැලසුම වූ බඹරකන්ද පාමුල බලා පිටත් විනි.උඩුවර ඇල්ල වෙත ගමන් කිරීමට මුලදී සැලසුම් සකස් වී තිබුනද කාලය නම් සාධකය නිසා එම අදහස අතහැර දැමීමට අවසානයේ තීරණය විය.


මගේ වැඩ....

ලංකා ඇල්ල ඉහල කොටස..

ලංකා ඇල්ල 

ලංකා ඇල්ල පාමුල තටාකය..

                ලංකා ඇල්ලට සමුදී විනාඩි 40ක පමණ කාලයකින් බඹරකන්ද ඇල්ලෙහි පාමුල වෙත ළඟාවූ අප ඒ වන විට වෙනත් පිරිසක් ඇල්ල පාමුල ස්නානය කරමින් සිටි නිසා තවත් මොහොතක් රැඳී සිට අනතුරුව සීතලේ ගැහෙමින් පැයක පමණ කාලයක් ඇයගේ පහසේ රැඳී අවසානයේ තවත් එක් සුන්දර ගමනක අවසානය සනිටුහන් කරමින් දිය සිඳී ගිය ඇයට සමුදී නැවතත් අපගේ සුපුරුදු ජිවන රටාව සොයා පිටත් විනි.සුපුරුදු පරිදි මට පැවසීමට ඇත්තේ මෙවන් වූ සොබාදහම් මාතාවගේ දායාද ඔබත් රසවිඳින්න...මතක ඇතුව අනාගත පරම්පරාවට මේවා සුරක්ෂිතව බාරදෙන්න....එසේනම් තවත් සටහනකින් ඔබව හමුවන බලාපොරොත්තුවෙන් සමුගන්නා මම මොරියාටි ....
ඔබ සැමට තෙරුවන් සරණයි...!
                           
                      

Friday, August 30, 2013

දිය සිඳුනු බඹරකන්ද සුකොමලිය සොයා ගිය ගමන...(01 කොටස)

අලගල්ල චාරිකාවෙන් පසු මේ ලියන්න සැරසෙන්නෙ තවත් එක් අපූරු චාරිකාවක් පිළිබඳව...ඒ තමයි ලංකාවෙ උසම දිය ඇල්ල වන බඹරකන්ද ඇල්ල සහ එම ප්‍රදේශයේම ඇති තවත් ඇල්ලක් වන ලංකා ඇල්ල බලා ගියපු ගමන පිළිබඳව..
               අපේ සුපුරුදු ගමන් සඟයා වූ දුම්රිය මේ ගමනේදී කනගාටුවෙන් වුවත් අපට අත්හරින්නට සිදුවුණා.ඊට හේතුවුනේ දුම්රිය මගින් ගමන් කර පහසුවෙන් ඇල්ල කරා ළඟාවීමට හැකියාවක් නොතිබීමයි.
                  බඹරකන්ද දිය ඇල්ල, විකිපීඩියාවේ සඳහන් වෙන ආකාරයට උසින් අඩි 863ක් (263m) වෙනවා.ලංකාවෙ උසම දිය ඇල්ල වන මෙය ලෝකයේ උසින් වැඩිම දිය ඇලි අතර 299 වන ස්ථානයේ වැජඹෙනවා.සමනළ අඩවියෙන් ආරම්භ වන වලවේ ගංගාවේ ශාඛාවක් වන කුඩාඔය මගින් බඹරකන්ද දිය ඇල්ලට උල්පත සැපයෙනවා.
                                  අප විසින් ගමන යොදාගෙන තිබුනේ ඉරිදා දිනයක.කොළඹින් උදෑසන 4.30ට පමණ පිටත් වීමට සැලසුම් කර තිබුනත් සුපුරුදු පරිදි අපගේ එක් ගමන් සගයෙකුගේ ප්‍රමාදය නිසා  උදෑසන5.15 පමණ වනතෙක් ප්‍රමාදවී ගමන ආරම්භ කිරීමට සිදුවුනා.
                                  අපගේ ගමන් මාර්ගය වැටී තිබුනේ මාලඹේ > අතුරුගිරිය > ගොඩගම > පාදුක්ක > ඉංගිරිය > රත්නපුර > බලංගොඩ > බෙලිහුල්ඔය යන නගර හරහායි.ඉහත සඳහන් කල ගමන් මාර්ගය සැලකීමේදී ඉංගිරිය සහ රත්නපුර අතර ප්‍රදේශය තරමක් වංගු සහිත වුනත් ඉතාමත් සුන්දර වටපිටවකින් සමන්විත වෙනවා.උදෑසන අහාරය සඳහා ගතවූ කාලයද ඇතුළුව පැය 4.30ක පමණ ගමනකින් අනතුරුව බඹරකන්ද දිය ඇල්ල වෙත ලඟා වීමට අපට හැකිවුනා.
                                                   බඹරකන්ද දිය ඇල්ල වෙත ලඟාවීමට ඇති මාර්ගය වැටී ඇත්තේ බලංගොඩ , හපුතලේ (A 4) මාර්ගයේ 172 සහ 173න් වන km කනු අතරතුරයි.A 4 මාර්ගයෙන් හැරී 4km ක පමණ දුරක් ගමන් කිරීමෙන් අනතුරුව බඹරකන්ද දිය ඇල්ල දර්ශනය වීමට පටන් ගන්නවා.මේ මාර්ගය ඉතා පටු වන අතර වැලමිටි වංගු වලින් සමන්විතයි.මේ නිසාම coacher වර්ගයේ බස් රථයකට වඩා විශාල බස් රථ වලට මේ මාර්ගයේ ගමන් කිරීම අසීරු බවයි මට හැඟීගියේ.4km ක පමණ දුරක් ගමන් කිරීමෙන් අනතුරුව එම ස්ථානයේ රථ ගාලක් දැක ගැනීමට හැකිවෙනවා.එම ස්ථානයෙන් අනතුරුව ඇල්ල කරා ගමන් කල යුත්තේ පාගමනින්.


දිය සිඳුණු ඇය


අපි ගමනේ.
                                     රථ ගාල ඇති ස්ථානයේ සිට මද දුරක් ගමන් කල විට ප්‍රධාන මාර්ගයට සම්බන්ධ වන අඩි පාරක් දැක ගැනීමට හැකි වෙනවා.බඹරකන්ද සහ ලංකා ඇල්ල වෙත ගමන ඇරැඹෙන්නේ මෙම ස්ථානයේ සිටයි.අපගේ පළමු ඉලක්කය වී තිබුනේ බඹරකන්ද දිය ඇල්ලෙහි මුදුන කරා ලඟා වීමයි.ඉන් අනතුරුව ලංකා ඇල්ල වෙතත් අවසානයේ බඹරකන්ද ඇල්ලේ පාමුල වෙත පැමිණ තවදුරටත් කාලය ඉතිරි වී ඇත්නම් උඩුවර ඇල්ල වෙත ගමන් කිරීමටත් සැලසුම සකස් වී තිබුණා.
                පෙර සඳහන් කල අඩි පාර ඔස්සේ මද දුරක් ගමන් කරන විට බඹරකන්ද ඇල්ල මගින් නිර්මාණය වන ජල පහර හරහා ඉදිකරන ලද කොන්ක්‍රීට් පාලමක් හමුවනවා.එතැන් සිට තව ස්වල්ප දුරක් ගමන් කල පසු මාර්ගය පයිනස් වනාන්තරයකට අවතීර්ණ වෙනවා.අප එහි ගමන් කරන අවස්ථාව වනවිට එම ස්ථානයේ සිට ඇල්ල පාමුල දක්වා ගමන් කිරීමට සිමෙන්ති පඩි නිර්මාණය වෙමින් පැවතියා.
             සිමෙන්ති පඩි අවසානයේ මාර්ගය පයිනස් ගසක් අද්දරින් කොටස් දෙකකට වෙන්වන අතර  ලංකා ඇල්ල සහ බඹරකන්ද ඇල්ලෙහි මුදුන වෙත ළඟාවීමට වම්පස මාර්ගයෙහිත්, බඹරකන්ද ඇල්ල පාමුල වෙත ළඟාවීමට දකුණුපස මාර්ගයෙහිත් ගමන් කලයුතු වෙනවා.අප මෙම ස්ථානයෙන් වම් පසට හැරී ගමන් කිරීම ආරම්භ කලේ අපගේ සැලැස්මට අනුව පළමුව බඹරකන්ද ඇල්ලෙහි මුදුන වෙත ගමන් කිරීමේ අටියෙන්.පයිනස් වනාන්තරය හරහා දිවෙන මෙම කොටස තුල මාර්ගය සිග්-සැග් ආකාරයට පවතිනවා.පයිනස් කොළ නිසා මාර්ගය තරමක් ලිස්සන සුළු වන අතර මේ නිසාම තරමක් සැලකිල්ලෙන් ගමන් කලයුතු වෙනවා.මෙම පළමු පයිනස් වනාන්තර කොටස අවසානයේ තරමක් තැනිතලා ප්‍රදේශයකට අවතීර්ණ වන අතර එහිදී නැවතත් මාර්ගය කොටස් දෙකකට බෙදෙනවා.වම් පසට දිවෙන අඩි පාර ඔස්සේ ගමන් කලවිට ලංකා ඇල්ල වෙතත්, දකුණු පසට දිවෙන මාර්ගය ඔස්සේ ගමන් කලවිට බඹරකන්ද ඇල්ලෙහි මුදුන කරාත් ලඟාවිය හැකියි.


ගල් බොරළු සහිත පයිනස් වනය.

                      අප මෙම ස්ථානයෙන් දකුණු දෙසට හැරී බඹරකන්ද ඇල්ලෙහි මුදුන කරා ගමන් කිරීම ඇරඹුවා.මෙතැන් පටන් මාර්ගය තරමක් දුෂ්කර වන අතර ඉතාමත් වෙහෙස දනවන සුළු වනවා.ගල් බොරළු සහිත පයිනස් කොළ වැටී ඇති මාර්ගය තියුණු බෑවුමට මායිම්ව පවතින නිසා මේ කොටස තුල ගමන් කිරීම ඉතාමත් සැලකිල්ලෙන් කලයුතු වනවා.කොතරම් වෙහෙස දැනුනද හාත්පස දර්ශනය සියලු විඩාවන් සැනෙකින් මකා දමනවා.
බඹරකන්ද 


බඹරකන්ද 

                                                    මෙසේ පැය එකහමාරක පමණ වෙහෙසකර ගමනක අවසානයේ බඹරකන්ද ඇල්ලෙහි මුදුන වෙත ළඟාවීමට අපට හැකියාව ලැබුනා.එම ස්ථානයට ළඟාවීමෙන් පසු සිතට දැනුනු හැඟීම වචනයෙන් විස්තර කල නොහැකි තරම්.අප මේ සිටින්නේ ලංකාවෙහි උසම දිය ඇල්ල මුදුනෙහි බව සිහිපත් වනවිට සිතට දැනුනේ සියුම් ආඩම්බරයක්. පැමිණි මාර්ගය මෙම ස්ථානයට ඉතා හොඳින් දිස්වූවා.හරිත පැහැයෙන් නැහැවුණු හාත්පස වසාගත් වනාන්තර නෙතට, ගතට මෙන්ම සිතටද ගෙන ආවේ අමුතුම සිසිලසක්.පයිනස් වනාන්තර නිසා වර්ෂාව නොමැති කාලවලදී බඹරකන්ද කොමලිය මන්දපෝෂණය සැදුනු සෝමාලියානු දරුවකු මෙන් දිය සිඳී වැහැරී ගිය ස්වරූපයක් ගන්නවා.අප එහි යන විට එයට අත්ව තිබුනේ එවන් ඉරණමක්.
රථ ගාල සහ පැමිණි මාර්ගය.

            බඹරකන්ද ඇල්ල මුදුනෙහි තවත් කුඩා දිය ඇල්ලක් එහි ගිය අපට දැකගත හැකිවුනා.එම ඇල්ල මගින් ගලාහැලෙන ජලය කුඩා නොගැඹුරු තටාකයක් නිර්මාණය කරන අතර ඉන්පසු තියුණු ප්‍රපාතාකාර මායිමෙන් අඩි 863ක් පහලට වැටෙමින් බඹරකන්ද සුකොමලියට පන ලබාදෙනවා.


හරිත පැහැය..

බඹරකන්දේ ආරම්භය.

බඹරකන්ද මුදුනේ ඇති අනෙක් ඇල්ල...

                         අප කණ්ඩායම බඹරකන්ද මුදුන කරා ළඟාවනවිට දහවල් 12 පසුවී තිබුණු අතර ගමනේ දැඩි වෙහෙසකරබව නිසාම සියලුදෙනාම පසුවුනේ දැඩි කුසගින්නෙන්.ඒ අනුව බඹරකන්ද උඩදීම දිවා ආහාරයෙන් සප්පායම් වූ අපි තවත් මොහොතක් එහි රැඳී සිට එතැනට සමුදී රැගෙන ගිය සියලු බඩු මලුද රැගෙන ලංකා ඇල්ල සොයා පිටත් වුනා. 




ලංකා ඇල්ල සහ ගමනේ ඉතිරි කොටස මීළඟ ලිපියෙන්....

Saturday, July 13, 2013

අලට කන්න බැරි අලගල්ලේ කන්ද...part-02

ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානයට අලගල්ල කන්දට අමතරව බතලේගල සහ උතුවන්කන්ද යන කඳුත් පැහැදිලිව දිස් වෙනව.දුම්රිය ස්ථානය ආසන්නයේදී මා විසින් ලබාගත් චායාරූප කිහිපයක් පහල දාල තියෙනව.


බතලේගල.


අමුතු ගහක්..


ඉහළ කෝට්ටේ ගම්මානය ආශ්‍රිත කුඹුරු..


ඔන්න දැන් තමයි අපේ ගමනේ ප්‍රධාන ඉලක්කයට අපි එන්නෙ.මීයන්ගල්ල දුම්රිය උමග බලල නැවත දුම්රිය ස්ථානයට ආපු අපි දුම්රිය ස්ථානාධිපතිතුමන්ගෙනුත් අලගල්ල ගැන තවත් විස්තර අහගෙන වතුර එහෙමත් පුරවගෙන අලගල්ල බලා පිටත් උනා.

අලගල්ල කන්ද ගැනත් විස්තර ටිකක් කිව්වොත් හොඳයි කියල හිතුනු නිසා ඒ ගැනත් ටිකක් කියල ඉන්නම්.අලගල්ල කන්ද 1148m උසකින් යුක්ත වෙනව කියල අන්තර්ජාලයේ හොයද්දි මට හම්බුනා.ඒ වගේම අලගල්ල හා සම්බන්ධ අපූරු විස්තර වගයකුත් මට දැනගන්න ලැබුන.අලගල්ල කන්ද ආශ්‍රිතව පදිංචි වෙලා ඉන්න මිනිස්සු හැම අවුරුද්දකම පෙබරවාරි 4 වෙනිදට අලගල්ල කන්ද නගින බවට මට ආරංචි උනා.මේකට හේතුව හොයාගෙන යනකොට අන්තර්ජාලයේ අපූරු ලිපියක් හමුවුනා.මේකෙ සඳහන් වෙන විදියට 1948 පෙබරවාරි මාසෙ 4 වෙනිද ,ඒ කියන්නෙ අපේ රටට නිදහස ලැබිච්ච දවසෙ අලගල්ල ආශ්‍රිතව පදිංචි වෙලා හිටපු මිනිස්සු මේ ලැබෙනවයි කියන නිදහස බලන්න අලගල්ල කන්ද මුදුනට නැග්ගලු.

එදා ඉඳල පුරුද්දක් විදියට මේ වනතෙක් අලගල්ල ආශ්‍රිත පදිංචි මිනිස්සු හැම අවුරුද්දකම පෙබරවාරි 4 වෙනිදට අලගල්ල කන්ද නගිනවලු.ආරංචි විදියට නම් සැලකිය යුතු ප්‍රමාණයක් පෙබරවාරි 4 වෙනිදට අලගල්ල කන්ද නගිනවලු.ඒ වගේම පෙබරවාරි 4 වෙනිද වෙනකොට අලගල්ල ආශ්‍රිතව පදිංචි වෙලා ඉන්න මිනිස්සු එකතුවෙලා අලගල්ල මුදුනට යන පාර එලි-පෙහෙළි කරනවලු.මේක අලගල්ල ගිහිල්ල නැති යන්න බලාගෙන ඉන්න කෙනෙකුට හොඳ ආරංචියක්.මොකද පෙබරවාරි 4 වෙනිදයින් පස්සෙ ගමන දාගත්තොත් පහුසුවෙන්ම උඩට යාගන්න පුළුවන්.

අලගල්ල ගැන ඔය විස්තර ටික ඇති.තව දැනගන්න කැමති අයට Google සර්ච් කරොත් හොයාගන්න පුළුවන්.ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානය ඉස්සරහින්ම අපිට ගමන ආරම්භ කරන්න පුළුවන්.මෙතන තියෙනව ගල් වලින් හදාගත්තු පඩිපෙලක්.මේක දිගේ උඩහට යනකොට විශාල පර්වතයකට මායිම්ව හදපු පඩිපෙලක් නැවතත් හම්බවෙනව.මේ හරිය පහුකරන් දිගටම ගියාම ගෙවල් කිහිපයක් තියෙන පොඩි ගම්මානයක් වගේ ප්‍රදේශයක් හම්බවෙනවා.ගම්මානයක් නිසා මේ කොටසේ මිනිස්සු නිතරම ගැවසෙනවා.ඔවුන්ගෙන් ඉදිරි පාරත් අහගෙන හිස්වෙච්ච වතුර බෝතල් ටිකත් පුරවගෙනම අපි ගම්මානය පසු කරල ආව.


දුම්රිය ස්ථානය පසුකර එනවිට.....


පර්වතයට මායිම්වූ මාවත..
ගම්මානය පහුකරල එන්න තියෙන පාර තරමක ලොකු පාරක්.මේ පාර දිගේ ඉදිරියට එනකොට දිය පහරක් හරහා ඉදිකරපු බෝක්කුවක් හම්බවෙනවා.මෙතන ඉඳන් ටිකදුරක් එනකොට කුඩා බුදු මැදුරක් සහිත හංදියක් හම්බවෙනවා.මෙතන විශාල ගහක් එහෙමත් තියෙනව.හොයාගන්න ඉතාමත් පහසුයි.මෙතනින් වමට හැරුනම කලින් සඳහන් කල දිය පහර හරහාම ඉදිකරනලද තරමක විශාල ලී පාලමක් දැකගන්න පුළුවන්.මේකත් පහුකරන් ටිකක් දුර යනකොට කුඩා ජලපිහිල්ලක් මාර්ගයේ දකුනුඅත පැත්තෙන් දැකගන්න පුළුවන්.මේ පිහිල්ල තියෙන තැන ඉඳල තේ වතු සහ කුඩා කැලෑ හරහා තමයි ඉදිරි ගමන් මග වැටිල තියෙන්නේ.

පිහිල්ල තියෙන තැනින් උඩට නැගිය හැකි කුඩා අඩිපාරක් තියෙනව.මේක දිගේ දිගටම යනකොට තේ වත්තක් හම්බවෙනව.මේ තේ වත්තට දකුණු දෙසට වන්නට තරමක කන්දක් හරහා පැතිරුණු තවත් තේ වත්තක් තියෙනව.මේ තේ වත්තත් පහුකරන් උඩහට ගියහම නැවතත් කුඩා පාරක් හම්බ වෙනව.මේ පාර දිගේ තේ වතු හරහා කෙලින්ම ඉදිරියට ගමන් කරන්න තමයි තියෙන්නෙ.මම කලින් සඳහන් කල තේ වතු සහිත නිශ්චිත මාර්ගයක් හෝ මගසලකුණක් රහිත ප්‍රදේශය තුල පාර වැරදීමට ඇති ඉඩකඩ වැඩි බවයි මටනම් හිතෙන්නෙ.ඒක නිසා ප්‍රදේශයේ කාගෙන්හරි පාර අහගෙන උදව් ඇතිව යනවනම් වඩා හොඳයි.අපිව ඒ මාර්ගයේ එක්කන් ගියේ ඒ පැත්තෙ පදිංචි වෙලා ඉන්න සහෝදරයෙක්.ඔහු නිවසට යන ගමන් අපිට නිශ්චිත මාර්ගය පෙන්නල දුන්න.ඔහු කියපු විදියට මේක ෂෝර්ට් කට් එකක්.ප්‍රදේශයේ පදිංචි වෙලා ඉන්න මිනිස්සුන්ගෙන් මේ වගේ කෙටි පාරවල් එහෙම දැනගන්න පුළුවන්.ඒක නිසා නිතරම ඒ මිනිස්සුත් එක්ක කතා කරන්න.

ඔය ඉහලින් සඳහන් කල තේ වතු අතරින් ඉදිරියටම ගමන් කලහම අපි එනව නැවතත් කැලෑවක් ආරම්භ වෙන ස්ථානයකට.මෙතන ඉඳන් අලගල්ල කඳු මුදුන වෙනකන් කැලෑව සහ මානා පඳුරු අතරින් නැග්මක් තමයි තියෙන්නෙ.පළමුව කූඩැල්ලන් බහුල කැලෑ ප්‍රදේශයත් පසුව මානා සහිත ප්‍රදේශයත් හමුවෙනව.මේ දිගටම යනකන් හොඳ අඩිපාරක් තියෙනව.සමහර තැන් වල ගස් අතු කඩන් වැටිල පාර අවහිර වෙලා තියෙන්න පුළුවන්.කොහොම නමුත් මේ ගමන කලින් පසුකරන් ආපු හරියට වඩා දුෂ්කරයි සහ වෙහෙසදනවන සුළුයි.මම අරගෙන ආපු ග්ලූකෝස් සහ චොකලට් මේ කන්ද නැගල ඉවර වෙනකොට වාෂ්ප වෙලා තිබුන. 


ඔහොම දුෂ්කර ගමනක අවසානයේ අපි අලගල්ල කන්ද මුදුනට ලඟා වෙලා තිබුන.මලින් බරවුණු මානා පඳුරු අතරින් අලගල්ල කඳු මුදුන ඉතා දැවැන්තයෙකු ලෙසින් නැගී සිටියා. අවස්ථාවේ වර්ෂාවක ලකුණු පහළවී තිබුණේ තවත් ස්වල්ප වෙලාවක් පමණක් අපට ඉතිරි වී ඇති බව හඟවමින්.අපට දැකගන්නට ලැබුණු දර්ශනය වචන වලින් විස්තර කල නොහැකි තරම්.උඩරට දුම්රිය මාර්ගයේ ගමන් කරන දුම්රියන් ඉතා කුඩා පණුවන් ලෙසින් දැක ගන්නට හැකිවුනා.එමෙන්ම අප සිටි ස්ථානයට අලගල්ල දුම්රිය ස්ථානය ඉතා හොඳින් දිස්වුනා.අලගල්ලට නුවර දෙසින් වූ දුම්රිය මාර්ගයද අපට පැහැදිලිව දැකගත හැකිවුනා.

මලින් බරවුණු මානා පඳුරු අතරින් අලගල්ල කඳු මුදුන ඉතා දැවැන්තයෙකු ලෙසින් නැගී සිටියා.
ඉහළ කෝට්ටේ වෙත පැමිණෙන දුම්රියක්..

මාවනැල්ලට වහින හැටි...
කඳු මුදුනේ සිට ....
සරදියෙල්ගේ උතුවන්කන්ද..

මේ වනවිට වැස්ස ආරම්භ තිබුණු අතර පැයක පමණ කාලයක් අලගල්ල කඳුමුදුනේ ගතකල අපි නැවත පිටත්වුණා.නැවත පැමිණෙන ගමන ඉතා වේගවත් වුනා.නමුත් අපි අලගල්ල දුම්රිය ස්ථානයට පැමිණෙන විට වනවිට තිබූ අවසාන දුම්රියත් පිටත් වී තිබුනා.නැවත දුම්රියක් ඇත්තේ තවත් පැය 3කට පමණ පසුව වූ බැවින් අනෙකුත් ගමන් සඟයන්ට සමුදුන් මම ඉහල කෝට්ටේ ගම්මානයටත් එතැන් සිට මාවනැල්ලට පැමිණ අවසානයේ නවාතැන වෙත පැමිණුනා.ඒ අයුරින් තවත් එක් වෙහෙස දැනවූ නමුත් අතිසුන්දර ගමනක අවසානය සනිටුහන් වෙනව.තවත් මෙවන් වූ චාරිකා සටහනකින් ඔබසැම හමුවෙන තුරු සමුගන්නම්.ඔබ සැමට තෙරුවන් සරණයි..