Thursday, December 27, 2012

ගලබොඩ ඇල්ල සොයා.....part-02



හොඳයි අද එහෙනම් රඹුක්කන ඉඳල පටන් ගන්නම්.අර කලින් කිව්ව වගේ රඹුක්කනදී මම කැමරා උපාංග ටිකත් ලෑස්ති කරගෙන අපේ අයගෙන් සමුගෙන එන්ජිමට ගොඩ උනා.මේක තමා මම එන්ජිමක යන පළමු අවස්ථාව.ඒක හරිම සුන්දර අත්දැකීමක්.ඔයාලටත් chance එකක් අවොත් අත අරින්න එපා.රඹුක්කන විනාඩි 10ක් විතර අපි නතර වෙලා හිටිය.රියදුරු මහත්තයයි එයාගෙ සහායකයි තේකක් හෙම බීල තමයි ඉතුරු ගමන පටන් ගත්තෙ.ඔන්න දැන් අපි රඹුක්කනින් පිටත් උනා.දැන් මං ඉන්න තැනට දුම්රිය මාර්ගයෙ ඉදිරිය සහ වට පිටාවේ හොඳ view එකක් පේනවා.රියදුරු මහත්තය හෙමිහිට හෙමිහිට දුම්රියේ වේගය වැඩි කලා.හරියටම කියනවනම් හිඟුල කියන ස්ථානයේ ඉඳල දැන් ඉතින් දිගටම නැග්මක් තමයි තියෙන්නේ.මේ හිඟුල ඉඳන් කඩුගන්නාවට යනකන් තියෙන දුම්රිය මාර්ගයෙ නැග්ම තමාලු ලංකාවෙ දුම්රිය මාර්ගයක තියෙන වැඩිම නැග්මක් තියෙන්නෙ.ඒක නිසා සමහර කෝච්චි ඒ කියන්නේ නයිට් මේල් වගේ පෙට්ටි වැඩිපුර තියෙන ඒවා රඹුක්කන ඉඳල තව එන්ජිමක ආධාරයත් ඇතුව තමා මේ කන්ද නගින්නේ.ඒත් අපි ගියපු පොඩි මැණිකෙට පෙට්ටි 6ක් විතරක් තියෙන නිසා ඒ ටික තනියම අදින්න M6 හාදයට පුළුවන්.මම ඉතින් මේ ලැබිච්ච අවස්ථවේ උපරිම ප්‍රයෝජනේ අරන් දිගට හරහට ෆොටෝස් ගැහුව.ඒවගෙන් තෝර ගත්ත සෙට් එකක් මම පහල දාල තියෙනව.                                                                                                                                                
කඳු අතරින් ඉදිරියටම....
සෙන්සේෂන් රොක් හෙවත් ලොමුදහැගන්වන පර්වතය...
අංක 5-A බිංගෙයට ඇතුළුවීමට මොහොතකට පෙර.
බතලේගල...
සිංහකට පසු කරමින්...බතලේගල වම් පසින් දිස්වේ..



 
දැන් අපි ඉන්න දුම්රිය කඳු බිංගෙවල් අතරින් ඉදිරියටම ඇදෙනවා.බිංගෙවල් ඇතුලෙදි කණ දෙදරන්න තරම් සද්දයක් එනව,ඒත් ඒකෙත් පොඩි සුන්දරත්වයක් තියෙනව.රඹුක්කන-කඩුගන්නාව අතරෙදි අපිට හමුවෙන අංක 5-A  කියන බිංගෙය අනෙක් ඒවට වඩා විශේෂයි.ඒකට හේතු කිහිපයක්ම තියෙනව.එකක් තමයි මේක ලංකාවෙ 2 වෙනියට දිගම බිංගේ.මේ බිංගේ හදල තියෙන්නේ පස්සේ කාලෙක.ඒක නිසා තමයි මේකට A අකුරක් දාල නම් කරල තියෙන්නෙ.මේ බිංගේට මීයන්ගල්ල බිංගේ කියලත් කියනව.මීයන් ඇල්ල කියල දිය ඇල්ලක් මේ බිංගෙයි පියස්ස උඩින් ගලා හැලෙන එක තවත් විශේෂත්වයක්.ටිකක් සැලකිල්ලෙන් බලාගෙන ගියොත් ඊළඟ සැරේ නුවර යනකොට මේ බිංගේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි.ඊට අමතරව elephant back,lions mouth වගේ අපූරු තැනුත් sensation rock වගේ දුර්ගත් බතලේගල,උතුවන්කන්ද,අලගල්ල වගේ කඳුත් ඔයාලට මේ ගමනෙදි දැක බලා ගන්න පුළුවන්.ඒවා ගැන මම වැඩි විස්තර කියන්න යන්නේ නෑ.කොහොම හරි රඹුක්කනින් පටන්ගෙන ආසන්න වශයෙන් 21km විතර දුරක් ගෙවාගෙන අපි ආපු දුම්රිය කඩුගන්නාවට ළඟාවුනා.කඩුගන්නාව දුම්රිය නැවතුමට ටිකකට කලින් පාරේ දකුණු අත පැත්තෙ විශාල කණුවක් දැක ගන්න පුළුවන්.මේකට තමයි ඩෝසන් කුලුන කියන්නේ.කැප්ටන් ඩෝසන් කියල කෙනෙක් තමයි ඔය නුවර බස් පාර හදල තියෙන්නේ.එයාව සිහි වෙන්න තමයිලු ඔය කුලුන හදල තියෙන්නේ.


ඩෝසන් කුළුන 
  

කඩුගන්නාවෙන් පස්සෙ පේරාදෙණියට යනකං විශේෂ දෙයක් බලන්න නෑ.පේරාදෙණියේදී මම එන්ජිමේ හිටපු රියදුරු මහත්තයටයි,සහයකටයි පින් දීල එන්ජිමෙන් සමුගෙන ආයෙත් අපේ කස්ටියට එකතු උනා.පොඩි මැණිකේ නුවර යන්නෙ නැහැ.එයා පේරාදෙණියෙන් බදුල්ල පැත්තට හරවනවා.එතකොට නුවර ආපු අය යන්නේ කොහොමද????....ආ ඒකට වෙනම ලෝකල් ට්‍රේන් එකක්, පොඩි මැණිකෙ පේරාදෙණියට ආවට පස්සෙ පේරාදෙණියේ ඉඳන් නුවරට යනවා.

නුවර ගියපු හාදයා..

පේරාදෙණියෙන් පිටත්වුන අපිට ඊගාවට හම්බවෙන ප්‍රධාන නැවතුමක් තමයි ගම්පොළ.ගම්පොළ දුම්රිය ස්ථානයට අම්බුළුවාව කන්ද හොඳින් දිස් වෙනව.අම්බුළුවාව යන කෙනෙක් ගම්පොලින් තමයි බහින්න ඕනෙ.අපේ දවල් කෑම පාර්සල් ටිකත් කලින් ප්ලෑන් කරල තිබ්බ විදිහට ගම්පොල ස්ටේෂන් එකේදී කෝච්චියට ගෙන්න ගත්ත.   



ඉතුරු ටික ඊගාව කොටසින්.....

Tuesday, December 25, 2012

ගලබොඩ ඇල්ල සොයා......part-01

                                     හැමෝටම සුබම සුබ නත්තලක් කියල ඕං මම හා හා පුරා  කියල මගේ බ්ලොග් එක අද ඉඳල ලියන්න තමයි මේ ලෑස්තිය.මම ගැන ඉස්සෙල්ලම චූටි හැඳින්වීමක් දීලම හිටියොත් හොඳයි කියල හිතුන නිසා මේ විස්තර ටික මම කියන්නේ.මොරියාටි කියල කියගත්තට මගේ නම ගයාන්.ඉන්නේ කොලොම්පුරේ.තාම ඉගෙන ගන්න එක තමයි රස්සාව.වැඩිදුර විස්තර ඉස්සරහට දැනගන්න බැරිය.හොඳයි එහෙනම් නමෝවිත්තියෙන් බ්ලොග් එක ලියන මගේ දෑතට යහපතක්ම වෙන්න කියල වැඩේ පටන්ගමු.ලියන්න දේවල් ගොඩක් තිබ්බත් මේ ලඟදි මම අපේ කස්ටියක් එක්ක ගලබොඩ පැත්තේ ගියපු ගමනක් ගැනම ලියල පටන් ගන්නයි හිතුවෙ.
                                                                                මේ ගමන මම කාලයක් තිස්සේ යන්න හිතන් හිටපු ගමනක්..කොටින්ම කියනවනම් මේ සැරේ කව්රු නාවත් තනියම හරි යනවා කියල තමයි හිතන් හිටියෙ.(කයි දුන්නට තාම එක ගමනක්වත් එහෙම ගිහින් නෑ).කොහොමින් කොහොම හරි මෙදා සැරේ නං කස්ටිය 16 දෙනෙක්ම සෙට් උනා.ලක්දසුන් එකේ සහ තවත් බ්ලොග් වගයක තිබුන ට්‍රිප් රිපොර්ට්ස් වගයක් ඔක්කොම මුල ඉඳන් අගටයි අග ඉඳන් මුලටයි සිය සැරයක් විතර කියවල ඇස් වහගෙන උනත් ගලබොඩ යන්න පුලවන් ගානට රෙඩි වෙලා තමයි හිටියෙ. උනාට ගලබොඩ station එකෙන් බැහැපු වෙලේ ඉඳල මුණගැහුණු හැම මනුස්ස පරානයක්ගෙන්ම පාර අහගෙන තමයි ඇල්ලට ගියේ.හා....... මට අමතක උනානෙ මුලදී ගලබොඩ මොකද්ද තියෙන්නේ කියල කියන්න.ගලබොඩ තියෙනවා ලස්සන දිය ඇල්ලක්.ඒක ගැන ගොඩක් විස්තර දැනගන්න ඕනේ නම් ලක්දසුන් එකේ හරි google හරි search කරන්න.ඉතින් අපි ගියේ ඔන්න ඔය ඇල්ල බලන්න තමා.මේ ඇල්ල ළඟ නාන්නත් පුළුවන්.හැබැයි ටිකක් සැලකිලිමත් වෙන්න වෙනව.මොකද වටවල පැත්තට වහිනවනම් ඇල්ලෙ වතුර එකපාරටම වැඩි වෙනව.එහෙම උනොත් ඉතින් දෙයියන්ගෙම පිහිට තමයි.මොකද ගොඩ එන්න වෙලාව මදි.ඒක නිසා ඒකත් සිහියෙ තියාගන්න.තව දැන ගන්න ඕන විස්තර මම ඒ ඒ තැනදි ඉස්සරහට කියන්නම්.  
         මේ ගමනේ තියෙන විශේෂත්වය තමයි දැනට මේ ඇල්ලට පහසුවෙන් ළඟාවෙන්න පුළුවන් එකම මාර්ගය දුම්රියෙන් පමණක් වීම.කොහොමින් කොහොම හරි ඔක්කොම වැඩ ටික ලෑස්ති කරගෙන යන දවසේ උදේ ඒ කියන්නේ ඉරිද දවසක කස්ටිය ඔක්කොම කොටුවට සෙට් උනා.උදේ 5.55 ට කොටුවෙන් තියෙන පොඩි මැණිකේ කෝච්චියෙන් තමයි ගමන පටන් ගත්තෙ.මෙතෙන්දි කියන්න ඕන දේවල් ටිකක් තියෙනවා.මේ විස්තර ගලබොඩ යන්න ප්ලෑන් කරන කෙනෙකුට වැදගත් වෙයි.සාමාන්‍යයෙන් පොඩි මැණිකේ කියන්නේ සෙනග වැඩි train එකක්.මේකේ 2nd class පෙට්ටි 1ක් විතරයි තියෙන්නෙ.ඒකත් කලින් බුක් කරන්න බැහැ.කලින් බුක් කරන්න පුළුවන් 1st  class 1ක පෙට්ටියක් තියෙනවා.ඒ තමයි නැරඹුම් මැදිරිය.මේකත් අඩුම තරමින් සතියකට කලින් වත්  බුක් කරන්න ඕනෙ(තව expo rail එකත් කලින් බුක් කරන්න පුළුවන්.).පොඩි මැණිකේ ගත්තහම සම්පූර්ණයෙන් පෙට්ටි 6ක් තියෙනව.1ක් 1st  class,1ක් 2nd  class,3ක් 3rd class,1ක් expo rail පෙට්ටිය.ඉතින් ඒක නිසා අඩු budget ට්‍රිප් යන කස්ටිය ගොඩක් යන්නේ 2nd හරි 3rd හරි නිසා ටිකක් කලියෙන් කොටුවට යන්න වෙනව.ඒ කියන්නේ අඩුම තරමින් පහ පහයි කාල විතර වෙනකොටවත් කොටුවේ ඉන්න ඕනෙ.මොකද ටිකට් ගන්නත් එපැයි.නැත්තන් ඉතින් ගලබොඩට යනකන් හිටන් තමයි යන්න වෙන්නෙ.කෝච්චිය 5.55ට කොටුවෙන් ඇද්දට 5.30ට විතර කොටුවට එනව.අපි ගියේ 2nd class පෙට්ටියේ.ගාන එක්කෙනෙක්ට 230/=.3rd class එකේ එක්කෙනෙකුට ගාන 125/=.1st class නම් 430/=ක් වෙනව.expo එකේ ගනං නම් මම දන්නෙ නෑ.පොඩි මැණිකේ මිස් උනොත් ඉතින් සොරිම තමයි.මොකද ආපහු ගලබොඩ යන්න train එකක් සෑහෙන වෙලාවකට නෑ.

                                   ඔය කියපු ඔක්කොම ටික වරද්දන්නෙ නැතුව කරගෙන අපි කට්ටිය කොටුවෙන් 5.55ට පිටත් උනා.අපි හැමෝටම වාඩිවෙන්නත් හම්බුනා.ආ ...ආයි පාරක් කියන්න අමතක උනානේ.මම ටිකක් විතර කෝච්චි පිස්සෙක්(චුට්ටයි හොඳේ.).ඒක නිසා මම කලින්ම රඹුක්කන ඉඳල පේරාදෙණියට යනකන් එන්ජිමේ යන්න මට විතරක් සෙට් කරගත්ත.(16කට යන්න බැහැනේ.)එදා අපිව ගලබොඩ එක්කන් ගියේ M6 පන්තියේ 797 කියන හාදය.මෙයා හරි හැන්ඩිය.මෙයාගේ පින්තුරයක් මම ඉහල දාල තියෙනවා.අපි කට්ටිය මග දිගට සින්දු කියාගෙන(අහගෙන ඉන්න අමාරු උනත්.)ආතල් එකේ ආව.උදේ කෑම ගත්තෙ train එකේදීමයි.කලින් පිළියෙළ කරගෙන ආපු සීනි සම්බෝලයි චිලි පේස්ට් සමග ඊට කලින් දවසෙ හවස ගත්ත පාන් අපේ කුස පිරෙව්වා.කොහොමින් කොහොම හරි කෝච්චිය රඹුක්කනට ලඟා වෙනකොට මම මගේ කැමරා උපාංග ටිකත් ලෑස්ති කරගෙන බහින්න ලෑස්ති උනා.මොකද එන්ජිමට පැන ගන්න එපැයි.                                                                                                                                  


මීළඟ කොටස ළඟදීම බලාපොරොත්තුවන්න......(එක දිගට ලියන්න ගියහම එපා වෙනව අප්පා......)