Sunday, May 5, 2013

අලට කන්න බැරි අලගල්ලේ කන්ද...part-01

ගලබොඩ චාරිකාවෙන් පස්සෙ තවත් තැන් ගනනාවකම ඇවිද්දත් ඒ අතරින් සුවිශේෂී වූ අලගල්ල කඳු තරණය ගැන තමයි අද මම ලියන්න සුදානම් වෙන්නෙ.මේ චාරිකාවෙ විශේෂත්වය තමයි මුහුණු පොතේ group එකකින් දැන හඳුනගත්තු සගයෝ ටිකක් තමයි චාරිකාව සංවිධානය කරලා තිබුනෙ.කොහොම උනත් මේ ගමන මං ගියපු හොඳම චාරිකා අතරට එකතු වෙච්ච එකක්.

ගමන ආරම්භ කලේ සුපුරුදු පරිදි කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන්.උදේ 5.55ට තියෙන පොඩි මැණිකෙ තමයි මෙවරත් අපිව ඇරලන්න නොපැකිලිව ඉදිරිපත් උනේ.මං ගලබොඩ චාරිකාව ගැන කියද්දී පොඩි මැණිකෙ ගැන විස්තර කලා මතක ඇතිනේ.නමුත් මේ වෙනකොට පොඩි මැණිකෙ සෑහෙන්න වෙනස් වෙලා.ලඟදි ගෙනාපු S12 පන්තියට අයත් බලවේග කට්ටලයක් තමයි දැන් පොඩි මැණිකෙට ධාවනය වෙන්නෙ.කොටින්ම කිව්වොත් දැන් පොඩි මැණිකෙ පොෂ් වෙලා.ඇස් දෙක කඩන් යන නිල් පාටක් තමයි තියෙන්නෙ.
පොඩි මැණිකෙට එන ජාතියෙ කෙනෙක්.


මේකෙ මගීන්ට තියෙන පහසුකම් නම් කලින් තිබ්බට වැඩිය ගොඩක් වැඩියි.මැදිරි ගණන එහෙමත් වැඩි කරල(දැන් පොඩි මැණිකෙට 3න් වන පන්තියේ මැදිරි හතරක්, 2වන පන්තියේ මැදිරි තුනක් සහ 1වන පන්තියේ වායුසමීකරණය කරපු මැදිරියක් ලෙස මැදිරි අටක් තියෙනවා. ).දැනට මෙයා සාර්ථකව උඩරට මාර්ගයෙ ධාවනය වෙනවා.මමත් වේලාසනම ඇවිත් 3වන පන්තියේ ප්‍රවේශ පත්‍රයක් අරගෙන වාඩි වෙලා ඉතුරු සගයො එනකන් පොඩි නින්දක් දැම්ම.කොටුවෙන් තවත් 3න් දෙනෙක් එකතු වෙන්න තිබුන.කොහොමහරි කට්ටියම නියමිත වෙලාවට කලියෙන් දුම්රියට ගොඩ උනා.අපි දැන් යන්නේ කොහෙද???


ඒක ගැන මට මුලින් කියන්න අමතක උනානෙ..අලගල්ල කන්ද නගින්න තමයි අද අපි මේ ලැස්ති වෙන්නෙ.අලගල්ල කන්ද නගින්න ප්‍රධාන පාරවල් 2ක් මම දන්නා විදියට තියෙනව.එකක් තමයි පොත්තපිටිය පැත්තෙන් කන්ද නැගීම ආරම්භ කිරීම,අනෙක තමයි ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානය අසලින් කන්ද නැගීම ආරම්භ කිරීම.මේ ක්‍රම 2න් අඩු දුරකින් සමන්විත වෙන්නෙ ඉහළ කෝට්ටේ පැත්තෙන් නගින එක තමයි මගේ දැනුමෙ හැටියට.ඉතින් අපේ කට්ටිය තෝරගෙන තිබුනෙත් ඔය පාරම තමයි.ඒක නිසා අපි උදේ පාන්දරම ලහි ලහියෙ ලෑස්ති වෙලා පොඩි මැණිකෙ දුම්රියෙන් ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානයට ලඟාවුනා.කොළඹ ඉඳන් ඉහළ කෝට්ටෙට එන කෙනෙකුට උදෙන් එන්න තියෙන එකම කෝච්චිය තමයි පොඩි මැණිකෙ.ඕක මිස් උනොත් ඉතින් කන්ද නගින එක පස්සට දාන එක තමයි වඩා සුදුසු.උදේ 5.55ට කොටුවෙන් එන පොඩි මැණිකෙ උදේ 8.30 විතර වෙනකොට ඉහළ කෝට්ටෙට එනවා.අපි කට්ටිය 8දෙනෙක් නියමිත වෙලාවට ඉහළ කෝට්ටෙට ඇවිල්ල හිටිය.දෙන්නෙක්ට කෝච්චිය මිස් වෙලා තිබ්බ.ඒ දෙන්නත් බස් එකේ ඇවිත් පොත්තපිටිය පැත්තෙන් පසුව අපි එකතුවුනා.

මං මේත් එක්කම ඉහළ කෝට්ටේ ගැනත් ටිකක් කියල ඉන්නම්.ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානය අතීතයෙ හඳුන්වල තියෙන්නෙ අලගල්ල දුම්රිය ස්ථානය නමින්.පසු කාලයක තමයි (හොයාගත්ත විදියට 1969 හෝ 1970 දි තමයි නම වෙනස් කරල තියෙන්නෙ )මේක ඉහළ කෝට්ටේ විදියට නම වෙනස් කරලා තියෙන්නෙ.මේකටනම් හේතුව මම හරියටම දන්නෙ නැහැ.කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට 96.74km දුරකින් පිහිටල තියෙන මෙම දුම්රිය ස්ථානය 1867 දී පමණ ඉදිකර ඇතිබව සඳහන් වෙනවා.එමෙන්ම මෙය මුහුදු මට්ටමේ සිට 210.57m උසකින් පිහිටල තියෙනව.කෑගල්ල දිස්ත්‍රික්කයට තමයි ඉහළ කෝට්ටේ අයිති වෙන්නෙ.ඒ වගේම ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානයට මදක් කොළඹ දෙසට වන්නට සරණංකර සාමණේරයන් වැඩවිසු ගල්ලෙන සහ මීයන්ගල්ල බිංගෙය දැකගන්න පුළුවන්.දෙකිඳ ඇල්ල පිහිටලා තියෙන්නෙත් ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානයට මදක් නුවර දෙසට වන්නට..


ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානය. 
ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානයට දිස්වන අලගල්ල.
ඉහළ කෝට්ටේට පැමිණි අපගේ පළමු අරමුණ වුයේ මීයන්ගල්ල බිංගෙය දැකගනීමයි.මෙම බිංගෙය අංක 5-A ලෙස නම්කර තිබෙනවා.මීට හේතුව නම් මෙම බිංගෙය උඩරට දුම්රිය මාර්ගය තැනීමෙන් යම් කාලයකට පසුව ඉදිකෙරුණු බිංගෙයක් වීමයි.මෙසේ පසුව බිංගෙයක් ඉදිකිරීමට හේතුව කුමක්ද??මුල් කාලයේ දුම්රිය මාර්ගය තිබී ඇත්තේ ප්‍රපාතාකාර බෑවුමට මායිම්ව.එසේ දුම්රිය මාර්ගය පැවති අවදියේ දුම්රියක් ප්‍රපාතයට පෙරලීම නිසා පසුකාලීනව එම දුම්රිය මාර්ගය අතහැර දමා බිංගෙය නිර්මාණය කර තිබෙනවා.ප්‍රපාතාකාර බෑවුම ඔස්සේ දුම්රිය පෙරලීමට එක් හේතුවක් වී ඇත්තේ බිංගයේ පියස්ස හරහා ගලා බසින මීයන් ඇල්ල අධික වැසි සහිත දින වලදී දුම්රිය මාර්ගය වෙතට ඇද වැටී දුම්රිය මග අබලන් වීමයි.මෙසේ මීයන් ඇල්ල ගලා බැසීමට බිංගයේ පියස්ස හරහා ඉදිකෙරුණු ගල් කට්ට 2ක් අපට දැක ගැනීමට හැකිවුණා.
මීයන්ගල්ල දුම්රිය බිංගෙය  
පැරණි දුම්රිය මග.


මීයන් ඇල්ල ගලාබැසීමට ඉදිකළ ගල් කට්ට.


එමෙන්ම මෙම දුම්රිය බිංගෙය නිර්මාණය කිරීමේදී බිංගෙයහි පැති බිත්තියක ඉදිකරන ලද කුහරයක් බිංගෙයට පිටතින් මෙන්ම ඇතුලතින්ද අපට දැක ගැනීමට හැකිවුනා.මෙය බිංගෙය නිර්මාණය කිරීමේදී ඇතුලත එකතුවන ගල් කැබලි පිටතට දැමීමටද භාවිතා කර ඇති බව සඳහන් වෙනවා



පැති බිත්තියේ ඉදිකළ කුහරය පිටතට දිස්වන අයුරු..
.
පැති බිත්තියේ ඉදිකළ කුහරය බිංගෙය ඇතුලතින් දිස්වන අයුරු.. 


පළමුව බිංගෙයට පිටතින් ගමන් කල අපි බිංගයෙහි අනිත්පසින් බිංගෙයට ඇතුළුවී බිංගෙය තුලින්ද ගමන් කිරීමේ අවස්ථාව උදාකරගත්තා.මෙය තරමක් සැලකිල්ලෙන් කලයුත්තක්.දුම්රිය ස්ථානාධිපතිවරුන්ගෙන් නිවැරදිව දුම්රිය කාලසටහන ලබාගෙන දුම්රියක් නොපැමිණෙන අවස්ථාවක් බලා බිංගෙය තුලින් ගමන් කල යුතුයි.එසේ නැතහොත් විශාල ගැටලුවකට මුහුණ දීමට සිදුවෙනවා.බිංගෙවල් තුල Man Holes නමින් එක් පුද්ගලයෙකුට හෝ දෙදෙනෙකුට සිටිය හැකි අවකාශ තිබුනත් විශාල පිරිසක් ගමන් කරන අවස්ථාවක මේවා ප්‍රමාණවත් නොවනවා.එමෙන්ම දුම්රියෙහි පැමිණීම නොසිතූ අවස්ථාවක සිදුවන නිසා එවන් අවකාශ වලට ගමන් කිරීමද නොහැකි වනවා.එසේ බිංගෙයක් ඇතුලතදී දුම්රියක් මුණගැසුණු අවස්ථාවක කලයුතු වන්නේ කලබල වීමකින් තොරව ගමන් මලු සියල්ල ගලවා බිංගයෙහි බිත්තිය ආසන්නයේ තබා ඔබද දුම්රිය මාර්ගයට සමාන්තරව හැකිතරම් බිංගයෙහි බිත්තිය දෙසට වී හැකි තරම් පහත් වී සිටීමයි.මෙමගින් බොහෝදුරට දුම්රියෙන් සිදුවියහැකි හානි වලක්වාගත හැකියි. 



ඉතිරිය මීළඟ කොටසින්..

7 comments:

  1. කට්ටිය කියවල කමෙන්ට් එකක් දාලම යමුද..

    ReplyDelete
  2. ඔය කියන බිංගෙය ඇතුලට ඔබතුමා ගිය වෙලාව මට කිව්වොත්..දුම්රිය දෙකක් අතරතුර කාල පරාසය ඔය කියන බිංගෙය තරණය කිරීමට ප්‍රමාණවත් වෙනවද?මොකද මීට ඉස්සර ඔබ කිව්වා මේක තමා ලංකාවේ දෙවනියට දිගම බිංගේ කියල..මං නිවැරදි නේද මොරියාටි?
    ෂර්ලොක්.

    ReplyDelete
    Replies
    1. හිතමිත්‍ර ෂර්ලොක්,
      ඔබ පැවසූ අයුරින් මා විසින් මෙම බිංගෙය දෙවනියට දිගම බිංගෙය ලෙස පැවසූ බව සත්‍යයකි.එහි නිවැරදි වියයුතු යමක් ඇත්නම් මා දැනුවත් කරන ලෙස කාරුණිකව ඉල්ලමි.ඇත්ත වශයෙන්ම අප බිංගෙය ඇතුලත ගතකල කාලය මාගේ මතකයෙන් සේදීගොස් ඇත.එය කෙසේ වුවත් දුම්රිය 2ක් අතරතුර කාලය ඔබට අහවල් එක කරල එන්න තරම් වුවත් ප්‍රමාණවත් බව මට පැවසිය හැක.ඒ මන්දයත් මෙම මාර්ගයේ දුම්රිය පැමිණීම කොළඹ ආසන්නයේ මෙන් නිතර සිදුනොවේ.නමුත් ඔබ ඒ තරමටම වාසනවන්තනම් ඔබ බිංගෙය තුලට පිවිසි විගසම කොහේ හෝ යන කෝච්චියක් කඩාපාත්විය හැක.එනිසාම තමයි මා පවසා සිටින්නේ බිංගෙය තුලට පිවිසීමට පෙර ලඟම ඇති දුම්රිය ස්ථානයෙන් දුම්රිය කාල සටහන ලබාගන්නා ලෙස.ඔබට තවදුරටත් උපකාර අවශ්‍යනම් පවසන්න.
      බොහොමත්ම ස්තුතියි.
      මීට මොරියාටි.

      Delete
  3. ඇයි මේ!!! අපිව මග නවත්තලා...ඉක්මනින්ම ඊලඟ කොටස බලපොරොත්තු වෙනවා සහෝදරයා...සිය වතාවක් උනත් දවසට මේ ලිපිය කියවන්න පුලුවන්.ඒ තරම්ම ආකර්ශනීයයි!!!! මොරියාටි මහත්තයෝ ඔය පාතලෙ වැඩ කිඩ පොඩ්ඩකට නවත්තල මේ ලිපිය ලියල ඉවරයක් කරමු කියල බොහොම අහිංසක විදිහට යෝජනා කරනව මේ වෙලාවෙ...
    "කංචන මිත්‍රයා"

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න ඕනැ කාංචන සහෝදරය...මේ දවස් වල ලඟදි තියෙන විභාගෙකට ලක-ලෑස්ති වෙනව.ඒක නිසා ලියන්න වෙලාව හොයාගන්න ටිකක් අමාරුයි.ඒක ඉවර වෙච්ච ගමන් ලියන්න පටන් ගන්නම්..බොහොමත්ම ස්තුතියි...

      Delete
  4. නියමායි තවත් ඇවිදින එකෙක් යන්න ඕන මේකත් බලන්න මොරයාටි මහත්තයා ෂර්ලොක් එක්ක වලි දාගන්නේ නැතුව මෙහෙම කරමු අපි ඇවිදිමු ෂර්ලොක්ට ඕන කෙංගෙඩියක් ගහගන්ට කියලා හැක් හැක් හැකස්

    ReplyDelete
    Replies
    1. සුලා මහතාණනි..ඔබතුමා මගේ අඩවියට සාදරයෙන් පිලිගන්නවා..ආරාධනා කර සිටිනවා ඔබතුමන්ට මගේ අඩවියත් සමග දිගටම රැඳෙන්නට..ෂර්ලොක් ඕන දෙයක් කරපුවාවේ...අපි ඇවිදිමු අපේ පාඩුවේ..!

      Delete