අපේ මේ සැරේ ගමන වුනේ ලංකාවේ උසම දුම්රිය ස්ථානය වන පට්ටිපොල දුම්රිය නැවතුම සහ එතැන් සිට බදුල්ල දෙසට කිලෝමීටර 23ක් පමණ ගියවිට හමුවන හපුතලේ කියන දුම්රිය නැවතුම අතර දුම්රිය මග දිගේ පාගමනින් ගමන් කිරීමයි.මෙවර අපගේ සුපුරුදු ගමන් සඟයා වුනේ කොළඹ කොටුවෙන් රාත්‍රී 8.00ට බදුල්ල බලා දිවෙන රාත්‍රී තැපැල් දුම්රියයි. සුපුරුදු පරිදි දෙමටගොඩ ධාවනාගාරයේ සිට කොළඹ කොටුව වෙත පැමිණෙන රාත්‍රී තැපැල් දුම්රියට මරදානෙන් ගොඩවූ අපි පට්ටිපොළ බලා වූ අපේ ගමන ආරම්භ කළා.
ඝන අඳුර සහ මීදුම මැදින් මුළු ලොවම නින්දේ පසුවෙද්දී බදුල්ල බලා දිවෙන රාත්‍රී තැපැල් දුම්රිය ක්‍රමයෙන් අපගේ ගමනාන්තය කරා අපව රැගෙන යමින් තිබුනා.හෙට දවසේ සිදු කිරීමට නියමිත ගමන පිළිබඳව සිතේ තිබූ ආශ්වාදජනක හැඟීම නිසාම රාත්‍රිය පුරාවට අප පසුවූයේ අඩනින්දේ.කිලෝමීටර 225ක පමණ දුරක් ගෙවාගෙන අවසානයේ බදුලු රාත්‍රී තැපැල් දුම්රිය අලුයම 4.30 පමණ වනවිට පට්ටිපොළ දුම්රිය ස්ථානය වෙත ලඟාවූවා.
තැපැල් දුම්රිය |
පට්ටිපොල |
උදෑසන හිරු උදාවට තවත් පැය එකහමාරක පමණ කාලයක් තිබුණු නිසා දුම්රිය ස්ථානයේ තිබුණු විවෙකගැනීමේ කාමරයට වැදුණු අපි හිරු උදාවනතුරු රැඳී සිටියා.උදෑසන 6 පමණ වනවිට මිහිදුම් සළු අතරින් දවසේ පළමු කිරණ ඉතා දැකුම්කලු වටපිටාවක් නිර්මාණය කරමින් අපගේ ගමන ආරම්භ කිරීමට සුදුසු වටපිටාව සකසා දුන්නා.පට්ටිපොල දුම්රිය ස්ථානය ඇතුළු වටපිටාව ඡයාරුපගත කරගැනීමට තවත් මොහොතක් රැඳුනු අපි අපගේ ගමන ආරම්භ කළා.
පට්ටිපොල පසුකර බදුල්ල දෙසට විහිදෙන දුම්රිය මාර්ගය, සුන්දර මහ එලිය හෙවත් හෝර්ටන්තැන්න වන සීමාව තුලින් ගමනේ යෙදෙනවා.මද දුරක් ගමන් කල අපට පළමුව මුණගැසුනේ ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ගයේ උසම ස්ථානයයි. Summit Level ලෙසින් ලී පුවරුවක් එම ස්ථානයේ රඳවා තිබෙනු දැකගන්න පුළුවන්.මෙතනට පැමිණි අපට උදෑසන හිරුකිරණින් නැහැවුණු තවමත් මිහිදුම් සේලයෙන් වැසී ඇති මහ එලියට අයත් කඳු දැකගැනීමට හැකිවුණා.
මෙතැන් සිට ඔහිය දක්වා කිසිදු ජනාවාසයක් නොමැති අතර විටින් විට හමුවන දුම්රියත්, දුම්රිය මග පරීක්ෂා කරන මහත්වරුනුත් හැරුණු කොට අපට වෙනත් කිසිවෙකු මුණගැසුනේ නැහැ.Summit Level පසුකර ඉදිරියට ඇදෙන අපට පළමුව මුණගැසෙන්නේ උඩරට දුම්රිය මාර්ගයේ දිගින් 3න් වන ස්ථානයේ වැජබෙන බිංගෙයයි.Tunnel No 18 හෙවත් උඩරට දුම්රිය මාර්ගයේ 18 වැනි බිංගෙය වන මෙය වර්ෂ 1951 දී නායයෑම් නිසා හානියට පත්වූ අතර නැවත වර්ෂ 1981 වනවිට සම්පූර්ණයෙන් සාදා නිමකිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවරුන් ඇතුළු කාර්මික මණ්ඩලය සමත් විය.ඒ ඉතිහාසයෙන් බිඳකි.
18 බිංගෙය |
ඝන අඳුරින් වැසුනු බිංගෙය තුලින් මීටර 322ක පමණ දුරක් ඇවිදගිය අපට අත්දැකගැනීමට හැකිවුණේ පට්ටිපොල අන්තයේදී පැවති කාලගුණ තත්ත්වයට හාත්පසින්ම වෙනස් වූ තත්ත්වයක්.මෙය මෙම බිංගෙයටම ආවේණික වූ සුවිශේෂී ලක්ෂණයක්.
ඔහිය අන්තය |
අංක 19 බිංගෙය ඈතින් දිස්වේ. |
එම බිංගෙය පසුකර තවත් මද දුරක් ගමන්කරන විට තවත් දිගින් අඩු බිංගෙයක් හමුවන අතර මේ ලෙසින් පට්ටිපොල සහ ඔහිය අතර තැනින් තැන විසිරී ඇති බිංගෙවල් ගණන 4කි.
සුන්දර මහ එලිය මායිමේ දිවෙනා පට්ටිපොල ඔහිය දුම්රිය මග දිගේ සුන්දරත්වය විඳිමින් ඉදිරියට ගමන් කරන අපට පළමුව මුණගැසුනේ බදුල්ල සිට පැමිණෙන උඩරට මැණිකේ දුම්රියයි.
උඩරට මැණිකේ. |
S12 බලවේග කට්ටලයකින් බලගැන්වුණු ඇය අපව පසුකර කඳු අතරින් නොපෙනී ගියා.කෙසේ වෙතත් කඳු පංති අතරින් දඟර ගැසෙමින් ඇදී යන දුම්රිය මාර්ගය නිසා තවත් සෑහෙන දුරක් යනතුරු අපට දුම්රිය එන්ජිමෙහි හඬ ඇසුනා.ඔහියට ළඟාවීමට ප්‍රථම අපට හමුවුනේ මහ එලියේ සිට ගලා බසිනා සීතල දිය පහරක් හරහා නිමවුණු අපූරු යකඩ පාලමකි.මේ ලෙසින් පට්ටිපොල සිට කිලෝමීටර 7කට ආසන්න දුරක් පයින් ගමන් කරතිබූ අප ඔහිය වෙත ළඟාවුනා.
ඔහිය |
ඔහිය සිට ගමනේ ඉතුරු කොටස මීළඟ ලිපියෙන්......