Sunday, May 5, 2013

අලට කන්න බැරි අලගල්ලේ කන්ද...part-01

ගලබොඩ චාරිකාවෙන් පස්සෙ තවත් තැන් ගනනාවකම ඇවිද්දත් ඒ අතරින් සුවිශේෂී වූ අලගල්ල කඳු තරණය ගැන තමයි අද මම ලියන්න සුදානම් වෙන්නෙ.මේ චාරිකාවෙ විශේෂත්වය තමයි මුහුණු පොතේ group එකකින් දැන හඳුනගත්තු සගයෝ ටිකක් තමයි චාරිකාව සංවිධානය කරලා තිබුනෙ.කොහොම උනත් මේ ගමන මං ගියපු හොඳම චාරිකා අතරට එකතු වෙච්ච එකක්.

ගමන ආරම්භ කලේ සුපුරුදු පරිදි කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන්.උදේ 5.55ට තියෙන පොඩි මැණිකෙ තමයි මෙවරත් අපිව ඇරලන්න නොපැකිලිව ඉදිරිපත් උනේ.මං ගලබොඩ චාරිකාව ගැන කියද්දී පොඩි මැණිකෙ ගැන විස්තර කලා මතක ඇතිනේ.නමුත් මේ වෙනකොට පොඩි මැණිකෙ සෑහෙන්න වෙනස් වෙලා.ලඟදි ගෙනාපු S12 පන්තියට අයත් බලවේග කට්ටලයක් තමයි දැන් පොඩි මැණිකෙට ධාවනය වෙන්නෙ.කොටින්ම කිව්වොත් දැන් පොඩි මැණිකෙ පොෂ් වෙලා.ඇස් දෙක කඩන් යන නිල් පාටක් තමයි තියෙන්නෙ.
පොඩි මැණිකෙට එන ජාතියෙ කෙනෙක්.


මේකෙ මගීන්ට තියෙන පහසුකම් නම් කලින් තිබ්බට වැඩිය ගොඩක් වැඩියි.මැදිරි ගණන එහෙමත් වැඩි කරල(දැන් පොඩි මැණිකෙට 3න් වන පන්තියේ මැදිරි හතරක්, 2වන පන්තියේ මැදිරි තුනක් සහ 1වන පන්තියේ වායුසමීකරණය කරපු මැදිරියක් ලෙස මැදිරි අටක් තියෙනවා. ).දැනට මෙයා සාර්ථකව උඩරට මාර්ගයෙ ධාවනය වෙනවා.මමත් වේලාසනම ඇවිත් 3වන පන්තියේ ප්‍රවේශ පත්‍රයක් අරගෙන වාඩි වෙලා ඉතුරු සගයො එනකන් පොඩි නින්දක් දැම්ම.කොටුවෙන් තවත් 3න් දෙනෙක් එකතු වෙන්න තිබුන.කොහොමහරි කට්ටියම නියමිත වෙලාවට කලියෙන් දුම්රියට ගොඩ උනා.අපි දැන් යන්නේ කොහෙද???


ඒක ගැන මට මුලින් කියන්න අමතක උනානෙ..අලගල්ල කන්ද නගින්න තමයි අද අපි මේ ලැස්ති වෙන්නෙ.අලගල්ල කන්ද නගින්න ප්‍රධාන පාරවල් 2ක් මම දන්නා විදියට තියෙනව.එකක් තමයි පොත්තපිටිය පැත්තෙන් කන්ද නැගීම ආරම්භ කිරීම,අනෙක තමයි ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානය අසලින් කන්ද නැගීම ආරම්භ කිරීම.මේ ක්‍රම 2න් අඩු දුරකින් සමන්විත වෙන්නෙ ඉහළ කෝට්ටේ පැත්තෙන් නගින එක තමයි මගේ දැනුමෙ හැටියට.ඉතින් අපේ කට්ටිය තෝරගෙන තිබුනෙත් ඔය පාරම තමයි.ඒක නිසා අපි උදේ පාන්දරම ලහි ලහියෙ ලෑස්ති වෙලා පොඩි මැණිකෙ දුම්රියෙන් ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානයට ලඟාවුනා.කොළඹ ඉඳන් ඉහළ කෝට්ටෙට එන කෙනෙකුට උදෙන් එන්න තියෙන එකම කෝච්චිය තමයි පොඩි මැණිකෙ.ඕක මිස් උනොත් ඉතින් කන්ද නගින එක පස්සට දාන එක තමයි වඩා සුදුසු.උදේ 5.55ට කොටුවෙන් එන පොඩි මැණිකෙ උදේ 8.30 විතර වෙනකොට ඉහළ කෝට්ටෙට එනවා.අපි කට්ටිය 8දෙනෙක් නියමිත වෙලාවට ඉහළ කෝට්ටෙට ඇවිල්ල හිටිය.දෙන්නෙක්ට කෝච්චිය මිස් වෙලා තිබ්බ.ඒ දෙන්නත් බස් එකේ ඇවිත් පොත්තපිටිය පැත්තෙන් පසුව අපි එකතුවුනා.

මං මේත් එක්කම ඉහළ කෝට්ටේ ගැනත් ටිකක් කියල ඉන්නම්.ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානය අතීතයෙ හඳුන්වල තියෙන්නෙ අලගල්ල දුම්රිය ස්ථානය නමින්.පසු කාලයක තමයි (හොයාගත්ත විදියට 1969 හෝ 1970 දි තමයි නම වෙනස් කරල තියෙන්නෙ )මේක ඉහළ කෝට්ටේ විදියට නම වෙනස් කරලා තියෙන්නෙ.මේකටනම් හේතුව මම හරියටම දන්නෙ නැහැ.කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට 96.74km දුරකින් පිහිටල තියෙන මෙම දුම්රිය ස්ථානය 1867 දී පමණ ඉදිකර ඇතිබව සඳහන් වෙනවා.එමෙන්ම මෙය මුහුදු මට්ටමේ සිට 210.57m උසකින් පිහිටල තියෙනව.කෑගල්ල දිස්ත්‍රික්කයට තමයි ඉහළ කෝට්ටේ අයිති වෙන්නෙ.ඒ වගේම ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානයට මදක් කොළඹ දෙසට වන්නට සරණංකර සාමණේරයන් වැඩවිසු ගල්ලෙන සහ මීයන්ගල්ල බිංගෙය දැකගන්න පුළුවන්.දෙකිඳ ඇල්ල පිහිටලා තියෙන්නෙත් ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානයට මදක් නුවර දෙසට වන්නට..


ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානය. 
ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානයට දිස්වන අලගල්ල.
ඉහළ කෝට්ටේට පැමිණි අපගේ පළමු අරමුණ වුයේ මීයන්ගල්ල බිංගෙය දැකගනීමයි.මෙම බිංගෙය අංක 5-A ලෙස නම්කර තිබෙනවා.මීට හේතුව නම් මෙම බිංගෙය උඩරට දුම්රිය මාර්ගය තැනීමෙන් යම් කාලයකට පසුව ඉදිකෙරුණු බිංගෙයක් වීමයි.මෙසේ පසුව බිංගෙයක් ඉදිකිරීමට හේතුව කුමක්ද??මුල් කාලයේ දුම්රිය මාර්ගය තිබී ඇත්තේ ප්‍රපාතාකාර බෑවුමට මායිම්ව.එසේ දුම්රිය මාර්ගය පැවති අවදියේ දුම්රියක් ප්‍රපාතයට පෙරලීම නිසා පසුකාලීනව එම දුම්රිය මාර්ගය අතහැර දමා බිංගෙය නිර්මාණය කර තිබෙනවා.ප්‍රපාතාකාර බෑවුම ඔස්සේ දුම්රිය පෙරලීමට එක් හේතුවක් වී ඇත්තේ බිංගයේ පියස්ස හරහා ගලා බසින මීයන් ඇල්ල අධික වැසි සහිත දින වලදී දුම්රිය මාර්ගය වෙතට ඇද වැටී දුම්රිය මග අබලන් වීමයි.මෙසේ මීයන් ඇල්ල ගලා බැසීමට බිංගයේ පියස්ස හරහා ඉදිකෙරුණු ගල් කට්ට 2ක් අපට දැක ගැනීමට හැකිවුණා.
මීයන්ගල්ල දුම්රිය බිංගෙය  
පැරණි දුම්රිය මග.


මීයන් ඇල්ල ගලාබැසීමට ඉදිකළ ගල් කට්ට.


එමෙන්ම මෙම දුම්රිය බිංගෙය නිර්මාණය කිරීමේදී බිංගෙයහි පැති බිත්තියක ඉදිකරන ලද කුහරයක් බිංගෙයට පිටතින් මෙන්ම ඇතුලතින්ද අපට දැක ගැනීමට හැකිවුනා.මෙය බිංගෙය නිර්මාණය කිරීමේදී ඇතුලත එකතුවන ගල් කැබලි පිටතට දැමීමටද භාවිතා කර ඇති බව සඳහන් වෙනවා



පැති බිත්තියේ ඉදිකළ කුහරය පිටතට දිස්වන අයුරු..
.
පැති බිත්තියේ ඉදිකළ කුහරය බිංගෙය ඇතුලතින් දිස්වන අයුරු.. 


පළමුව බිංගෙයට පිටතින් ගමන් කල අපි බිංගයෙහි අනිත්පසින් බිංගෙයට ඇතුළුවී බිංගෙය තුලින්ද ගමන් කිරීමේ අවස්ථාව උදාකරගත්තා.මෙය තරමක් සැලකිල්ලෙන් කලයුත්තක්.දුම්රිය ස්ථානාධිපතිවරුන්ගෙන් නිවැරදිව දුම්රිය කාලසටහන ලබාගෙන දුම්රියක් නොපැමිණෙන අවස්ථාවක් බලා බිංගෙය තුලින් ගමන් කල යුතුයි.එසේ නැතහොත් විශාල ගැටලුවකට මුහුණ දීමට සිදුවෙනවා.බිංගෙවල් තුල Man Holes නමින් එක් පුද්ගලයෙකුට හෝ දෙදෙනෙකුට සිටිය හැකි අවකාශ තිබුනත් විශාල පිරිසක් ගමන් කරන අවස්ථාවක මේවා ප්‍රමාණවත් නොවනවා.එමෙන්ම දුම්රියෙහි පැමිණීම නොසිතූ අවස්ථාවක සිදුවන නිසා එවන් අවකාශ වලට ගමන් කිරීමද නොහැකි වනවා.එසේ බිංගෙයක් ඇතුලතදී දුම්රියක් මුණගැසුණු අවස්ථාවක කලයුතු වන්නේ කලබල වීමකින් තොරව ගමන් මලු සියල්ල ගලවා බිංගයෙහි බිත්තිය ආසන්නයේ තබා ඔබද දුම්රිය මාර්ගයට සමාන්තරව හැකිතරම් බිංගයෙහි බිත්තිය දෙසට වී හැකි තරම් පහත් වී සිටීමයි.මෙමගින් බොහෝදුරට දුම්රියෙන් සිදුවියහැකි හානි වලක්වාගත හැකියි. 



ඉතිරිය මීළඟ කොටසින්..

Saturday, May 4, 2013

ගලබොඩ ඇල්ල සොයා....part-04




එක්කෙනෙකුට රුපියල් 20/= ක මුදලක් මෙතනදි දියඇල්ල බලන්න යන්න අයකරනව.මේක සාධාරණද කියලත් කාටහරි හිතේවි...ඒත් කරන්න දෙයක් නැහැ..මෙතනින් එහාට තේ වතු මැදින් සහ පුංචි අඩි පාරවල් ඔස්සෙ ලස්සන වටපිටාවක සිරි නරඹමින් කිලෝමීටරයකට වැඩිය දුරක් ගමන් කරන්න තියෙනව.මේ පැත්තෙ නිතරම මිනිස්සු ගැවසෙනවා..ඒක නිසා පාර නිශ්චිත නැති හැම වෙලාවකම කලින් කිව්වා වගේ එයාලගෙන් අහන්න පැකිලෙන්න එපා.කොහොමත් කලින් ගිහින් නැත්තම් පාර අහගන්නම වෙනවා..දුම්රියපළේ ඉඳල දිය ඇල්ල ළඟට සාමාන්‍ය වේගෙකින් ගියොත් පැයකට අඩු කාලයකින් යාගන්න පුළුවන්.කාලය ගැනත් ටිකක් සැලකිලිමත් වෙන එක හොඳයි..මම ඉස්සෙල්ල කිව්වා වගේ මේ යන අතරමගදි අංක 13 බිංගෙය බලාගන්න පුළුවන්.මේ යන ගමනෙදි වටපිට බලන්න අමතක කරන්න එපා..මොකද මේ වගේ අති සුන්දර වටපිටාවක සුන්දරත්වය දැකගන්න ලැබෙන්නෙ බොහොම සුළු දෙනාටයි.ටික දුරක් ඔහොම ඇවිදගෙන යනකොට ගලබොඩ ඇල්ලෙන් පහලට බහින වතුර පහරෙ ඒ කියන්නෙ stream එකේ සද්දේ ඇහෙන්නත්, ඒක පේන්නත් පටන් ගන්නව.ඔහොම දිගටම යනකොට මේ වතුර පාර හරහා ලී කොටන් වලින් හදල තියෙන පාලමක් වගේ එකක් අහු වෙනව.


පාලම..
මේ පාලම හරහා එහා පැත්තට ගිහින් දිය ඇල්ලට ළඟාවෙන්නත් පුළුවන්.එහෙම නැත්තං පාලම ලඟින් පහලට බැහැල stream එක දිගේ උඩට යන්නත් පුළුවන්..වඩා පහසුම විදිය මෙතන ඉඳන් කැලේ මැදින්ම දිය ඇල්ල ලඟට ළඟාවෙන එකයි..අපි ගියේ දෙවෙනි ක්‍රමයට..ඒ කියන්නෙ stream එක දිගේ උඩට ගමන් කරපු එක..වැඩිය වතුර පාරක් නොතිබ්බ නිසා මේ පාර තෝර ගත්ත.stream එක දිගේ උඩට යනකොට පොඩි dam එකක් අහුවෙනව.මෙතනදි තමයි ගලබොඩ ඇල්ල මුලින්ම දර්ශනය වෙන්න පටන් ගන්නෙ.


dam එක..එතැනින් උඩට යන්න ඕනෙ ඔය පේන විදියට...


dam එක ලඟින් උඩට නැග්ගම පේන හැටි..

 දැන් ඉතුරු ටික හොයාගෙන යන්න පුළුවන්.dam එක ළඟනම් වැරදිලාවත් නාන්න එපා..! එතන නාන්න එපා කියල බෝඩ් එකක් ගහලම තියෙනව.තව ටිකක් ඉස්සරහට යනකොට නාන්න පුළුවන් තැනක් හම්බවෙනව.එතනින් නාගන්න පුළුවන්.හැබැයි දිය ඇල්ලෙ වතුර මට්ටම ගැන නිතරම අවධානයෙන් ඉන්න..


අපි නෑවෙ මෙතන... 
දිය ඇල්ලෙ වතුර පාර සැර නැත්තම් වතුර වැටෙන තැනටම යන්න පුළුවන්..හැබැයි නිතරම සැලකිල්ලෙන් ඉන්න.අපේ කට්ටියත් ඒ ළඟටම ගියා..දිය ඇල්ල ළඟ පැය 2ක් විතර ඉඳල සීතල වතුරේ වෙව්ල වෙව්ල නාල,එතනදීම දවල් කෑමත් කාල,ගෙනිච්ච හැම දෙයක්ම අරගෙන අපි ඒ සුන්දර ගලබොඩ සුකොමලියට සමුදීල එන්න පිටත් උනා.මෙතැනදී මම ඔයාලට කියන්නේ මේ සුන්දර පරිසරය කිසිම විටක අපිරිසිදු කරන්න එපා..ඒ වගේම මේක ඔයාල නොදන්නා පලාතක්, ඒක නිසා හැම වෙලාවෙම තමන්ගේ සහ තම ගමන් සගයන්ගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න..ගියපු ගමන වැඩක් නැති වෙනව කාටහරි කරදරයක් උනොත්..ඒක නිසා "අවධානමට පෙර සුදානම" හොඳයි..මම ඇල්ල ලඟදි ගත්තු ෆොටෝස් පහල දාල තියෙනව. 


 .









අපි ඇල්ල ලඟින් පිටත් වෙලා නැවත ගලබොඩ දුම්රියපොළ වෙත ආව.එන ගමන යනවට වඩා අඩු කාලයකින් එන්න පුළුවන්..අපි ඇවිල්ල වැඩි වෙලාවක් යන්න කලින් කොළඹ යන උඩරට මැණිකෙ ආව.එතකොට වෙලාව හවස 3.00ට විතර ඇති.ලොකු ප්‍රමාදයක් මගදි උනේ නැත්තම් උඩරට මැණිකේ මේ වෙලාවට ගලබොඩට එනවා.හැබැයි එන්න තියෙන්නෙ ඒ කියන්නේ schedule time එක 
මීටත් කලින්.අපේ සැලැස්ම වෙලා තිබුනෙ බදුල්ල දෙසට තවත් ටිකක් දුම්රියෙන් ගිහිල්ල ආපහු එදා රෑ එන රාත්‍රී තැපැල් දුම්රියෙන් කොළඹ බලා ඒමයි.ඊට ටික වෙලාවකට පස්සෙ නාවලපිටියෙන් ආරම්භවන මන්දගාමී දුම්රියක් එනව.ඒක හපුතලේ බලා තමයි ධාවනය වෙන්නෙ.ඒ අනුව නාවලපිටියෙ ඉඳල ආපු මන්දගාමී දුම්රියෙන් අපි වටගොඩට ගිහිල්ල එහේ යාළුවෙකුගෙ ගෙදරින් රාත්‍රී ආහාරයත් ලබාගෙන වටගොඩින් රෑ 11.00ට තියෙන තැපැල් දුම්රියෙන් කොළඹ බලා ආව.වටගොඩට යන අතරමගදී ගත්තු ෆොටෝස් මම පහල දාල තියෙනව.හැටන් සානුව,ලංකාවේ දිගම බිංගෙය වන සිංගිමලේ බිංගෙය එහෙම බදුල්ල පැත්තට යද්දි  බලාගන්න පුළුවන්.




තැපැල් දුම්රිය උදේ 5.30 විතර වෙනකොට කොළඹට එනව.ඔය විදියට අපි ජීවිත කාලෙ ගියපු ඉතා සුන්දර ගමනක අවසානය එළඹෙනව.මම මේ සටහන කියවන ඔයාලටත් කියන්නෙ මේ පුංචි දිවයිනේ සොබාදහම් මාතාවගෙන් අපට ලැබුණු මෙවැනි දායාද බොහොමයක් තියෙනව.අපිට මේ ලැබුණු පුංචි ජීවිත කාලෙන් පොඩි වෙලාවක් වෙන් කරල මේ වගේ තැනක් බලන්න ගියාට වැඩි වෙන එකක් නැහැ.ඒ නිසා ඇවිදින්න.."ඇවිද්ද පය දහස් වටී.."කියන්නේ නිකං නෙමෙයිනෙ.ඒ වගේම මෙවැනි දායාද අනාගත පරම්පරාවටත් සුරක්ෂිතව බාරදෙන්න..මොනවාහරි දැනගන්න තියෙනවනම් උදව් කරන්න මම සුදානම්.එහෙනම් තවත් සටහනකින් හමුවෙනතුරු  ගිහින් එන්නම්..බුදු සරණයි..!